Chapter 03 - ආත්ම සහකරු

158 30 16
                                    

ජීවිතය අත් නොහරින්නට හේතුවක් තිබුනාට ජීවත් වෙන්නට හේතුවක් තිබුනේ නෑ... ජීවිතයත් ආත්මයත් මගෙන්ම මගහැරුණ මොහොතක මාව ජීවත් කලේ ඔබ තමයි...

අහඹුවකින් හමුවුණු ඔබ මගේ ජීවිතයේ වටිනාම අයෙක් බවට පත් වුන අයුරු සිහිපත් කරන විටත් මට දැනෙන්නේ පුදුමයක්... මාව හොඳින්ම වටහා ගත් ලෙසින් කියන ඔබේ සෑම වචනයක්ම මගේ හදවතේ තැන්පත් වුනා... මටත් නොවටිනා මගේ ජීවිතය පණ වගේ ආරක්ෂා කළා...

මට මග හැරුණු, මම මග හැරිය ජීවිතයේ හැම මොහොතකටම ඔබ වටිනාකමක් දුන්නා... ආයෙමත් කිසිම මොහොතක තනිකමක් දැනෙන්න දුන්නේ නෑ... මගේ අසලින්ම රැඳුනා...

මට ඔබව හරි හැටි වටහාගත නොහැකි වුනත් ලොව අන් කාටත් වඩා මාව හඳුනාගත්තා... මොහොතින් මොහොත මට මා ගැනම වටහා දුන්නා...

ලෝකයේ කිසිවෙකුත් මෙන් නොව මට මම ම වෙන්න කියා දුන් ඔබ අංග සම්පූර්ණ ජීවිතයක නොව මට මා වීම තුලින් දැනෙන සැනසීම වටහා දුන්නා... මාව තවදුරටත් අවතක්සේරු කරන්න මට ඉඩ දුන්නේ නෑ... මේ ලෝකේ කාට මාව වටින්නේ නැති වුනත් ඔබට මාව වටින බව පැවසුවා... මට මගේ ජීවිතයට ආදරය කරන්න කියලා දුන්නා...

වෙනස් කරන්න බැරි ඉරණමට අත නොතියා මට වෙනස් කරන්න පුළුවන් ජීවිතේ වෙනස් කරන හැටි කියලා දුන්නා... සීතල අයිස් වගේ හිතක් කියලා පෙනෙන ඔය හිතේ මොන තරම් උණුහුමක් හැංගිලා තියෙනවද කියලා මම දන්නවා... මගේ අඳුරු ජීවිතයට එලිය දුන්න සඳ ඔබම තමයි... මා මගේ ආත්මයෙන්ම ඔබ හා බැඳී ඇත්තේ පුදුම සහගත විදිහට... ඒ වගේම ආයේ වෙන් වෙන්නත් බැරි විදිහට...

ඔබ මුලින්ම දුටු දිනය නම් මා හට කිසිම දවසක අමතක නොවේවි... මා විමතියට පත් වූ තරම්... අද මට සිනහවෙන් යුතුව ඒ මොහොත සිහි කල හැක්කේ එදා මා තුල තිබුණු අඳුරු මතකයන් ඔබ නිසා වියැකී ගිය නිසයි...

ඔබ මට ජීවිතේ කියලා දුන්නේ තනියම නොවෙයි... පසුව ඔබ නිසා තවත් ඔබ වැනිම වූ සොහොයුරෝ සය දෙනෙක් හඳුනාගත්තා... ඒ අය අතර ඔබ සුවිශේෂියි... මට සුවිශේෂියි...

ඔබ නිසා මා වෙනස් වූ තරම මටවත් අදහාගත නොහැකියි... මගේ ජීවිතය ඔබ නිසා අලුත් වූවා... මටම කියලා ජීවිතයක් ගොඩනගාගන්න පියවරෙන් පියවර අඩිය තියන්න මගේ හිතට ශක්තිය දුන්නේ ඔබම තමයි... මගේ කැමැත්තට ඉඩක් ලබාගන්න, මගේ සතුට සොයාගන්න, ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඔබ මට අනුබල දුන්නා කිව්වොත් එය මුසාවක් නොවෙයි... මම අද විඳින නිදහස හිමි වුනේ ඔබ නිසයි...

අතීතය ගැන හිතලා මේ මොහොතේ තියෙන සැනසීම නැති කරගන්න ඔයා ඉඩ දුන්නේ නෑ...

කරන හැමදෙයකම අවසානයේ කවුරු කොහොම මාව විනිශ්චය කලත් හිතට දැනෙන මට උවමනා දේ, හරි දේ කරන්න ඔබ කියලා දුන්නා... ඒ දේම ඔබ ක්‍රියාවෙනුත් පෙන්නුවා... කිසිම දෙයක් බලාපොරොත්තු ආපසු නොවී, අඩුම ගානේ තමන්ටවත් නොදැනෙන විදිහට අනිත් අයට උදව් කරන විදිහ, අනිත් අයව රැකබලාගන්න විදිහ ඔබ තුලින් දුටුවා...

කැඩිලා බිඳිලා විසිරිලා ගිය හිතකට ආයෙමත් පණ දෙන්නත්, රිදුනු හිතක වේදනාව නැති කරන්නත්, හඬන කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්නත් ඔබට හැකියි... මේ හැම දේම ම වෙනුවෙන් ඔබ සිදුකලා... පෙරලා ඔබට ආදරයම මිස අන් යමක් දිය නොහැකි මා සිතට ඔබ ශක්තියක් වුන වාර ගණන අපමණයි...

ආදරය, සහෝදරකම, යාළුකම, කියන කිසිම අර්ථ කථනයකට නොගැලපෙන මා සිතේ ඔබ කෙරෙහි ඇති වූ බැඳීමට මා නමක් දිය යුතුමද... එය දුටුවත් නොදුටුවත්, හමුවුනත් නොවුණත් කිසිදා මිය නොයන බැඳීමක්... ආත්මීය බැඳීමක්...

HAPPY COINCIDENCE ✓Where stories live. Discover now