නෙළුම් මල්(GL)

146 31 34
                                    

පූජා භූමියේ සිට එන සුගන්ධය කාර්‍යාලයේ ලිපි ගොනු අතර සිරවී සිටි මාගේ මනසට ගෙන ආවේ මහත් සහනයකි.සුදු වතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් සුසැදි පූජා භූමිය කෙතරම් ජනාකීර්ණ වුවද මහත් සැනසිදායකය.

කිසිදිනෙක ගවුම් ඇඳීමට ප්‍රිය නොකළ මා අත්බෑගය තුළින් ගත් සුදු රෙද්දක් හිණ දවටාගෙන පන්සල් භූමියට යන මාර්ගය දිගේ පිය නැඟුවෙමි.කෙල්ලක් ලෙස සිටීමට කෙතරම් අකමැතිවුවත් මා පූජනීය ස්ථාන වෙත යාමේදී මාගේ ඇඳුම් පිළිබඳ වඩත් සැලකිලිමත් වූයේ මා තුළ ඇති අපරිමිත භක්තිය නිසාවෙන්මය.

නෙළුම් මල්,ඕලු මල් පූජා වට්ටි ආදිය තබා ගත් මිනිසුන් කෑ ගසමින් සිටී.මල් වෙළඳාමෙන් පමණක් එදිනෙදා වේල සොයාගන්න මෙම මිනිසුන් පිළිබඳ මට දැනුණේ ඉමහත් සංවේගයකි.ඔවුන්ගෙන් වැඩිප්‍රමාණයක් පාසල් යන වයසේ කෙල්ලන් හා ගැහැණුන්ය.

"අනේ...අපෙනුත් මල් ගන්නකෝ"

ගෙදරින් නෙලා ආ සුදු වතුසුදු මල් වට්ටියක් අතැතිව සිටි මට මල් මිල දී ගැනීමට තරම් අවශ්‍යතාවයක් නොවීය.

මම ඔවුන් මඟහැර ඉදිරියට යාමට උත්සාහ කළෙමි.නමුත් එක්වරම මාගේ දෑසට හසුවූයේ චාම් සුදු චීත්ත ගවුමකින් සැරසී නෙළුම් මල් තෝරමින් සිටි යුවතියක්ය.

සිහින් සිරුර,පිරිණු ලැම හා සඳවන් මුහුණකට උරුමකම් කී ඇයගේ කෙස් කළඹ හිණ දක්වා වැඩුණු පොකුටු කෙස් කළඹකි.

මටත් නොදැනිවම මම ඇය සිටි දෙසට පිය මැන්නෙමි.

"නෝනා..මල් ගන්නවද?"

ඇය මාගෙන් විමසුවාය.

"ඔයා මෙතන මල් විකුණන කෙනෙක්ද?"

මා විමසා සිටියේ ඇයගේ පෙනුම නූගත් ගැමි දැරිවියකගේ මෙන් නොවූ නිසාය.

"අනේ නෑ නෝනා.මම මේ කඩේට ආවා අම්මට උදව් කරන්න.මම බයෝ පන්ති ගිහින් එන ගමන් ආවා.අම්මට තනියම මල් විකුණන්න අමාරුනේ"

ඇය සිනාසෙමින් කීවාය.ඇය කතාකරන විට කම්මුල යටට ගිලී වල ගැසෙන අයුරු මාගේ දෑසට හසුවිය.

"ආ...ඒක තමයි මම බැලුවේ"

මම පැවසුවෙමි.

"නෝනා මොනවද ගන්නේ?පූජා වට්ටියක්ද?නෙළුම් මල්ද?ඕලු මල්ද?මානෙල් මල්ද?තව සුදු මල් වට්ටි එහෙමත් තියෙනවා.තව හඳුන්කූරු...පහන්තිර"

Short Stories...🌸Donde viven las historias. Descúbrelo ahora