....මව්වරු....

29 11 2
                                    

තැනින් තැන ඉරුන ජනෙල් රෙද්දෙන් ඉර එළිය යාන්තමට කාමරේ අස්සට රින්ගද්දි මම නින්දෙන් ඇහැරුනේ කාලෙකට පස්සෙ දැකපු ඒ මුස්පේන්තු හීනෙ බල බල මට තවත් ඉන්න ඕන උනේ නැති නිසා.

වට පිටාව වෙනදා වගේමයි. කිසි වෙනසක් නෑ. ඒත් හිතට මොකද්දෝ නරක හිතිවිල්ලක් එබිකම් කරන ගතියක් දැනුන නිසාම මම අම්මව හොයන් ගියා.
හිතට මොන දේ දැනුනත් අම්මා ගාවට ගියාම ඔය කිසි දේකට මගේ හිත කඩන්න පුලුවන් වුණේ නෑ. ඒ තරම් මගෙ අම්මා ළඟ මට හයියක් දැනෙනවා.

"අම්මේ.... අම්මේ....." ගෙයි දොර කොඩ ළඟට වෙලා කුස්සිය පැත්ත බලන් මම අම්මට කතා කාලේ වෙනදා පුරුද්දටමයි.
වෙනදට තප්පරයක් යන්නත් කලින් මාව හොයන් එන අම්මගෙ අද කිසි හැල හොල්මනක් නෑ.

උදේ ඉඳලා හිත අස්සෙ එහෙට මෙහෙට දුවපු අර නරක හිතිවිල්ල ආයේ හිත අස්සෙ කෑ ගහන්න පටන් ගත්තා.

" අම්මේ....." කටෙන් පිට වෙන වචන වල සද්දෙ යාන්තං අඩු වුණා. මම වෙව්ල වෙව්ල මිදුලට අඩිය තිබ්බේ කුස්සිය දිහාවට යන්න.

"අම්මා ගෙදර නෑ මල්ලි. මෙන්න කිරි එක. අම්මා රත් කරල තියලා ගියේ. හැබැයි මම තමයි දෙව්වෙ." අක්කා කිරි කෝප්පෙත් අරන් කුස්සියෙන් එළියට බැස්ස.

"කොයි ගිහිල්ලද අම්මා? මට කිව්වෙත් නෑ." මම මුණ තැලිච්ච දෙහි ලෙල්ල ගාණට හදාගත්තෙ අක්කා ළඟ හුරතල් වෙන්න තිබුන ආසාවට.
අක්කා ඇවිත් කෝප්පෙ මගේ අතට දීලා මගේ ඔලුව අත ගෑවා. මගේ අම්මට පස්සේ මට ඉන්න අම්මා.

"පොඩි අලි පැටියෙක් කෝච්චියේ හැප්පිල. උදේ පාන්දරම කනට වැටෙන දේවල්. උන්ට වැඩිය අපි පව් කරල මල්ලි මේවා අහන්න දකින්න. දැක දැකත් කරන්න දෙයක් නැති කමට බලන් ඉන්න." අක්කා ඉඩමේ මායිම් වැටට ටිකක් එහායින් උන රේල් පාර දිහා බලාගෙන කිව්වේ කලකිරීමෙන් පපුවේ පුරව ගත්ත හුස්ම ඩිංග එළියට පිට කරන ගමන්.

මම ටික වෙලාවක් අක්කගේ මූණ දිහා බලන් හිටියා. ඒ ඇස් වල කදුළු. ඔව් පුංචි කාලේ ඉඳලා ඔය වගේ සිද්ධි ආරංචි වෙන හැම වෙලාවෙම අක්කයි මායි කරේ අඬපු එක. දවස් ගාණක් කල්පනා කරා ඒ රේල් පාර ළඟ ජීවිතේ නැති උන සත්තු ගැන. අම්මාගෙන් පුන පුනා අහනවා 'අම්මේ අපිට කරන්න පුළුවන් දෙයක් නැද්ද?' කියලා.

අපි කියලත් මොනවා කරන්නද? ලොකු මහත්තැන්ලා ළඟට ගිහින් මේවා කිව්වම හැමදාම කියන්නේ 'අද හදනවා.' 'හෙට හදනවා' කියලා. එහෙම කියලා මීට අවුරුද්දකට එකහමාරකට කලින් අලි වැට ගහන්න ගෙනත් දාපු ලී කොටන් දැන් ගමේ තැන තැන. අපි සෙල්ලම් කරන්න ගන්නෙත් දැන් ඔය කොටන් කෑලි.

තවත් කතා කරන්න වචන කොහෙන්ද මං ළඟ. ඇස් වල කඳුළුත් පුරවන් පුරුදු විදියට කිරි කෝප්පෙ කට ගාන්න කලියෙන් මම ගියේ රත්ති අම්මා ගාවට. තමන්ගේ පැටියගෙ කිරි ටිකත් ලෝබ නැතුව මට දෙන මාව වඩන මගේ රත්ති අම්මා.

රත්ති අම්මා ගැට ගහලා තිබුණ තැනට යාන්තං එහාට වෙන්න තිබුණ ගල් පොත්ත උඩින් වාඩි උන මම බලාගෙන හිටියේ රත්ති අම්මා තණ උලා කන දිහා.
ටික වෙලාවක් බලන් ඉඳිද්දි ඇස් වලට පේන රූප බොඳ වෙන්න ගත්තා. කිරි කෝප්පෙ ඇතුලට මොනවාදෝ බිංදුවක් වැටෙන සද්දයක් එක්ක ආයෙත් මම මේ ලෝකෙට.

ඇස් වලින් වැටුණු කදුළු බිංදු දෙකක් කම්මුල් දිගේ පහළට යනවා දැනුනේ ඒ වෙලාවේ. ඇයි කදුළු? කා වෙනුවෙන්ද කඳුළු?

අම්මෙක් වෙනුවෙන්. මගේ රත්ති අම්මා වෙනුවෙන්. මට දැනෙන්නේ ඒ අම්මත් මට අඩුවක් නැතුව දෙන ආදරේ. මම බොන කිරි උගුරක් උගුරක් ගානේ මම ඒ අම්මට පිං දෙනව.
සතෙක් තමයි. ඒත් අම්මෙක්. සතෙක් වෙන්න පව් කරන්න ඇති තමයි. හැබැයි අම්මා කියන පදවිය ලබන්න තරම් පිනක් තවත් කොහෙන්ද?
.
.
වැරදිලා වගේ මගේ ඇස් දිව්වේ ගෙදර මායිම් වටේන් ඈතට වෙන්න තියෙන රේල් පාර දිහාවට.
නොදැක්ක උනත් මට මැවිලා පෙනුණේ පොඩි අලි පැටියෙක් ඒ රේල් පාර උඩ වැටිලා ඉන්න හැටි.

පැටියෙක්......
එතකොට ඒ අම්මා.........

~❤️ අම්මා නම් විය ❤️~Where stories live. Discover now