දිවුරුම් පෙත්සම් , අර පෙත්සම් මේ පෙත්සම් , සාක්ෂි, හරස් ප්රශ්න සීයකට විතර පස්සේ මං උසාවියෙන් එළියට ආවා.. තට්ට තනියම... සුදු පාට අත් දිග ෂර්ට් එකේ කාබන් පැල්ලම වැහෙන විදියට උදේ මම අත නවාගත්තත් දන්නේම නැතුව පැල්ලම මතු වෙලා තිබ්බා... කවුරුහරි දැක්කොත් හිනා වෙයි ද ?
'' මිස්ටර් ඒකනායක.. '' කළු පාට ලෝගුවක් දාපු මහත්තයෙක් මගේ නම කියලා කෑගහන ගමන් , මං දිහාවට දුවගෙන ආවේ තඩිම තඩි ෆයිල්ස් ගොඩක් කිහිල්ලේ ගහගෙන... මං එයාව දන්නවා.. මෙච්චර වෙලාවක් බොරුව ඇත්ත කරන්න මහන්සි උන නීතිඥයා...
'' කියන්න මහත්තයා.. '' මං කිව්වේ ටී ෂර්ට් එකේ තිබුණ පැල්ලම නම් නොපෙනේවා කියන ප්රර්ථනාව එක්ක... ඒක මහ බොළද ප්රාර්ථනාවක්.. ඒ මහතැන්ට නම් ටීෂර්ට් එකකට යන රුපියල් ගාන සොච්චමක්.. ඒත් මේ මට , රන්සුල් සිනෙවිදු ඒකනායකට ඒක මහමෙරක්....
'' ගොඩක් ස්තුතියි මේ දරුවාට මගේ සේවාදායකයා වෙනුවෙන් කතා කළාට...'' ඒ නීතිඥ මහතැන් කිව්වේ කහපාට වැදිලා ඈත් වෙලා තිබ්බ දත් ටික පෙන්නලා මාත් එක්ක හිනා වෙලා.... උත්තර විදියට කියාගන්නේ මොනවාද කියලා හිතාගන්නත් කලින් ඒ අළුපාට ඇස්වල අයිතිකාරයා මගේ දිහාවට ඇවිදන් ආවා...
දෙමළ චිත්රපටියක වීර ජවනිකාවට නළුවා එනවා වගේ ඒ අළුපාට ඇස්වල අයිතිකාරයා දකින හැම වෙලාවකම මට පසුබිමින් ඇහෙන්නේ සයිවර් කඩේ කොත්තුව වැටෙන රිදම් එක .... !!! රංග අය්යා ඒ යකඩ කෑලි දෙකින් කබලට තඩිබාන සද්දෙත් එක්ක ඒ අළු ඇස්වල අයිතිකාරයා බැදිලා තියෙන්නේ හරියට කාසියක දෙපැත්ත වගේ....
හවසට වැඩ ඇරිලා එන මිනිස්සු අතර ප්රසිද්ධම සිංදුව මොකක්ද ඇහුවොත් ? කොත්තු වැදෙන රිදම් එක ඇර වෙන මොකක්ද ... මහ ලොකුවට අතේ සල්ලි නැතුව ඇති අපිට ලොකු ලොකු කෑම ජාති කන්න... උගුරෙන් පහළට යන ප්ලේන්ටියයි කොත්තුවයි මදිද අපිට ජිවිතේ විදින්න ?
ඔව්... මදි නේන්නම්.. පාරෙන් එහා පැත්තේ තියන වයින් ස්ටොර්ස් එකට ගිහින් හම්බු කරපු සතේ හරි ගිනි වතුර බිව්වේ නැත්තන් සමහරුන්ට ඒක මදිකමක්... ගිනි වතුර උගුර පුච්චගෙන ගලනකොට උන්ට හිතෙයි ජිවිතේ ගින්නට වඩා ඒක සැප වගක්... ලොකු ලොකු ගිනි වතුර ගන්න නං අතේ සල්ලි නැතුව ඇති... ඒත් බාල බඩු කියලා බැහැනේ.. මොනාම හරි ගිනි වතුර එකක් කටේ ඔබාගන්නයි බලන්නේ...
ඉතින් රන්සුල් සිනෙවිදු.. උබටත් පුළුවන් එකක් තෝරගන්න... වමට හැරුණොත් තියෙනවා සයිවර් කඩේ.... දකුණට හැරුණොත් තියෙනවා වයින් ස්ටෝර්ස් එක... මොන පැත්තට උබ හැරෙන්නේ ? වයින් ස්ටෝර්ස් එක ළග පොරකන බහුතරයට වඩා කොත්තුවක් කාලාවත් බඩ පුරවගන්න එක හොදයි කියලා මං එදා තීරණය කළේ දවල්ට ලැබුන මිරිස් හොද්දයි , පොල්සම්බෝලයයි නම් කොහොමත් බඩට ඇල්ලුවේ නැති නිසා...
කඩේ ඇතුළේ හෙන කලබලේ.. හරියට ලෝක යුද්ධයක් වගේ.. කොත්තුව ගහන සද්දෙටම එකතු වුන ඕඩර්ස් වැටෙන සද්දේ... බොයිලේරුවේන් එන වාෂ්පෙන් මුළු කඩේ ඇතුළම යන්තම් වැහිලා ගිහින්.. උණුම උණු ආප්ප , බිත්තර රොටි අරහෙන් මෙහෙට.. මෙහෙන් අරහෙට... දවසේ මහන්සිය දිය කරලා අරින්න තේ බිබී කෑ ගහන මිනිස්සු... යන්තං වැටෙන කෑම කැල්ලකට ඉව කරන කැහැටු බඩදරු පූසියො දෙන්නා....
'' ආා.. කොල්ලො... අද මේ පැත්තේ වගේ.. අන්න අතනින් වාඩිවෙයන්... බිත්තර කොත්තුවක් නේ.. හරි ඕකෙයි.. '' දන්න දවසේ ඉදන්ම කඩේ වැඩ කරන ටිංකිරි කිව්වේ මුල්ලේම හිස් වෙලා තිබ්බ මේසේ මට පෙන්නලා.. මං ඉක්මනින් කකුල ඉස්සුවේ ඒ මේසේත් නැති වෙයි කියන බයට.. ඔෆිස් ගෙනිච්ච බෑග් එක කරේම එල්ලගෙන ප්ලාස්ටික් පුටුවත් යන්තං පිහිදාපු මං පුළුවන් තරම් ඉක්මනට එතනින් වාඩි උනේ වෙන කෙනෙක් වාඩි වෙන තැනත් උදුරයි කියලා තිබ්බ බයට... බොයිලේරුවේ වතුර උණුවෙන්නේ හරියට තේ එකක් බොන්න කියලා මට කතා කරන්න වගේ... රොටි , පරාටා ,ආටා රොටි , ගුජරාටා , ගෝදම්බා , උළුදු වඩේ , වඩේ , තෝසේ , ආප්ප , රයිස් කොත්තු , කොත්තු , රයිස් ද එකී මෙකී නොකී හැම ජාතියෙම කෑමවල සුවද හතරවටේ හමන්නේ බඩගින්දරේ වැඩි කරන ගමන්...
රංගය්යා කොත්තුව දාන සද්දේ වැඩි වෙනවාත් එක්කම ආගන්තුක කළු ජැකට් කාරයෙක් කෙලින්ම ඇවිදින් මගේ මේසේම අනිත් පැත්තෙන් වාඩි උනේ කටේ තිබ්බ සිගරට් එකින් ලොකුම ලොකු දුම් වළල්ලක් පිට කරලා.. ඒ තමා මේ ගුප්ත අළු ඇස් දෙක මං මුලින්ම දැකපු දවස...
.
.
.
.
.
.
.'' මතු සම්බන්ධයි ''
* වටිනා අදහස පිණිස කැටපත් පවුර විවෘතයි.
* Short Chapters/Slow updates
Start Date - 2022.03.01
YOU ARE READING
-සයිවර් කඩේ- [ Short Chapters]
Randomඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -