මළකඩ මතුවෙලා තිබුන බෙලෙක් කෝප්පේ අඩියේ ඉතිරි වෙලා තිබුණේ තේ මණ්ඩිය විතරයි... තේ මණ්ඩියට එකා දෙන්නා ඇදෙන ඇඹලයෝ තව ටිකකින් කෝප්පෙම වහගනිවි.. දැන් ඇති මේ ලඩ්ඩ ඔබ ඔබ ඉදියා කියලා මතක් වෙන්නේ එතකොට. ලඩ්ඩ කිව්වාට ලොකු ලදරමක් නෙවේ... නොකියා වර්ගේ බට්න් ෆෝන් එකක්.. තේ මණ්ඩි අහක දාන්න හොද නෑ. එකම තේ කොළ ටික දැන් වේල් හතරකට බිව්වා ඔය මදැයි සිනෙවිදු..
තේ හදන ජොග්ගුවේ තිබුණ තේ මණ්ඩි ටික ඇගිලි තුඩුවලට අරගෙන මං මූණේ ගාගත්තා. තේ මණ්ඩිවලට පුදුම විදියට මූණම පාට වෙනවා. මූණේ තිබුණ දූවිලි, කුණු හැම එකම උරාගෙන මූණ ලස්සන කරනවා . අඩුම තරමේ ලස්සනට ඉන්නවත් පාවිච්චි කරන්න තිබ්බේ එච්චරයි...
ලීටර් පන්සියේ අයිස්ක්රීම් කප් එකක වතුර පුරවලා අටවලා තිබ්බ සීනී උගුල උඩින් මං පරිස්සමට සීනි බෝතලේ තිබ්බා. බෙලෙක් කෝප්පේත් හෝදලා ඒ ගැම්මටම කටට වතුර එකක් පුරවගෙන කොප්පේ අනිත් පැත්ත ගහලා ලෑලි තට්ටුව උඩින් තිබ්බේ දැනටමත් හොදටම පරක්කු නිසා. වතුරවල කිවුලක් නැතුවම නෙවේ ඒත් ඒක නොදැනෙන තරමට දිවට හුරු වෙලා..
ඉතින් ඒ අළුපාට ඇස් දෙක දැකලා මේ වෙනකොට පැය හතළිස් අටක්.. පැය හතළිස් අටට මං දකින හැම දේම අළුපාට උනා කිව්වොත් ? මුළු වත්තේ සේරමලා මූණ සේදුවේ කැළණි ගගෙන් වතුර එන පයිප්ප කරාමේ ගාව.. දවස් දෙකක්ම තේ වතුර බිබී බඩ පුරවගෙන කන්න වියදම් වෙන සල්ලි මං එකතු කලේ අමුතුම වැඩකට කිව්වොත් ? !!!
ඔව් , අද රෑට සයිවර් කඩේ පැත්තට යන්න ඕනා.. උණු බොයිලේරුව , රංග අය්යාගේ කොත්තුව වැටෙන සද්දේ , ඒ ඝෝෂාව අතරට අලුත්ම දෙයක් මගේ ලැයිස්තුවට එකතු වෙලා.. අළුපාට ඇස් දෙක..
පංචිකාවත්තෙන් හොයාගත්ත කැඩිච්ච බයික් එකක ඉරි තැලුන සයිඩ් කණ්ණාඩිය එක තමා රැවුල කපන කණ්ණාඩිය උනේ.. පරණ බ්ලේඩ් එකින් රැවුල කපද්දි පරිස්සමට කපන්න ඕන.. තුවාල උනොත් මල ගිහින් පිටගැස්මට එන්ට පුළුවනි...
මං ජීවත් උනේ බෝඩිමක.. ඒක පිටාර වත්ත... පිටාර වත්ත කිව්වේ නම්බුවට නම් නෙවේ.. කැළණි ගග පිටාර ගලද්දි මුලින්ම යට කරගෙන යන්නේ පිටාර වත්ත උන නිසා.. පිටාර වත්ත කියලා කිව්වාම එක වත්තක් කියලාද හිතුවේ ? බුදු අම්මො නෑ. අඩියෙන් අඩිය පර්චස් දෙකේ ලෑලි ගෙවල්වලින් පිරිලා.. නැහිලා නැහිලා හම්බු කරන මිනිස්සුන්ට උනත් ජීවත් වෙන්න ඉතිරි වුන සොච්චම් පඩියෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමා පිටාර වත්ත වගේ වත්තකින් ලෑලි ගෙයක් අරන් දාන එක..
ඒත් ඉතින් ගිනි වතුර බීලා බඩ ගිනි තියන් එන පිරිමි උදවිය උන්ගේ ගෑනුන්ට තලන විදියයි , නගරේ ගොඩේ ඇහෙන කුණුහර්පයි එක්ක ජිවත් වෙන්ට හොද පුරුද්දක් තියෙන්ට ඕනා.. මූණේ සේරම ටික දියවෙනකම් මූණ හෝදගත්ත මං කරවටේ තුවාය දාගත්තේ පරක්කු වෙන්න කලින් වැඩට යන්න ඕන නිසා.. මූණට රෙදිවලට කියලා වෙනසක් නෑ , සන්ලයිට් කැටේ දෙකටම වලංගුයි මෙහෙදි නම්.....
උදේ පාන්දර වාහනවල හෝන් උඩ නැගපු මිනිස්සු අතරේ කාක් රෑන ඇවිස්සලා ගිහින්.. නිදාගෙන උන්න කොළඹ නගරේ ටිකෙන් ටික අවදි වෙන වෙලාව... රෑ තිස්සේ කඩල විකුණපු ජොරිස් අප්පු කඩල කරත්තෙත් තල්ලු කරගෙන මේ දිහාවට එනවා පේනවා.. ඒ කියන්නේ දැන් මම වැඩට යන්න වෙලාව හරි කියන එක...
මං කියන්නේ මහලොකුවට පත පොත ඉගෙන ගත්ත මනුස්සයෙක් නම් නෙවේ.. ඒත් ඔය පොත පත ඉගෙන ගෙන ලොකු ලොකු තැන්වල ඉන්නවා කියන මහත්+හොරුන්ට වඩා නම් අවංක මනුස්සයෙක්... ඉතින් ඔය මහත්වරු අඩුම තරමේ හංදියේ බස් ස්ටේෂන් එක කොහේද කියලාවත් දන්නවාද ? එහෙම බලනකොට නම් මේ ගෙන්දගම් පොළවේ පය ගහලා ඉන්න අපි ගොඩක් ඉස්සරහින් ....
එයාලාට රුපියල මහලොකු ගානක් නොවුනට රුපියලට පවා මහන්සිය එක්ක දවසේම හෙට්ටු කරන අපි එයලාට වඩා රුපියලේ වටිනාකම දන්නේ නැහැ කියන්නේ කොහොම ද ? කවුද තීරක ?
ඔව් සිනෙවිදු. උබ මහලොකුවට දන්න දේකුත් නෑ. ඒත් බකපණ්ඩිතකමට පණ්ඩිත කතා කිය කිය යන්න නම් දන්නවා.. ඒ මට පාච්චලේ දැම්මේ මගේ හිත..
දන්නේම නැතුව සයිවර් කඩේ ගාවට ඇවිදින්....
'
'~ මතු සම්බන්ධයි ~
- Republishing -
STAI LEGGENDO
-සයිවර් කඩේ- [ Short Chapters]
Casualeඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -