"අහ්ම්.."කලකට පසු වේදිකාවට ගොඩවුන ඈ උගුර පෑදුවා.
'කලකට පසු'
ඒ වදන ඈට වේදිකාව නුහුරු තැනක් බවට පත් කර තිබුනා.හිස් රඟහල.. එය ඈට ඊටත් වඩා නුහුරු වුනා.
සිතුවිලි ගසා දැමූ ඈ බොල් හඬක් නඟන වේදිකාවේ සෙමෙන් අඩි තබා හිස් වූ රඟහලට මුහුණලා වේදිකාව කොනකින් හිඳ ගත්තේ සිය දෙපා වේදිකා ගැට්ටෙන් පහතට දමමිනුයි.
දෙපා පද්දමින් අඬ අඳුරු රඟහලට නෙත් යොමු කල ඈට ගුප්ත මූසල හැඟීමකට වඩා ප්‍රාණවත් වූ කුතුහලයක් දැනෙන්නට වීම ඇගේ සිත මඳක් ගැස්සුවා.
'තනිවීමෙහි කලාව'
ඈ එනම් දෙයක් රසවිඳින බව ඈට සිතුනා.නමුත් සැබවින් එලෙස යමක් සිදුවනවාද?
ඈ සැබවින්ම රසවිඳින්නේ තනිවීමෙහි කලාවද , නැතහොත්...එසැණෙකින් ඈ රඟහල මධ්‍යයේ තිබෙන එහෙත් තමන් මින් පෙර නොසලකා හරින්නට හැදූ අසුනට නෙත් ගෙන ගියා.
ඒ අසුන අනෙක් හැම සාමාන්‍ය අසුනක් මෙන්ම වුනා.එසේනම් වෙනස!?
වෙනසනම්,එහි විශාල කාලවන් කුහරයක් වුනා.
යමක් උරාගෙන අඹරාගෙන විනාශ කරන්නට තනන ආකාරයට පෙනුන කුහරයක් ඒ අසුන මධ්‍යයේ ඇගේ නෙත ගැටුනා.
එහෙත් සුළු මොහොතකට ඒ කුහරය මිනිසෙකුගේ වෙස් ගත්තා.
මිනිසෙක්?
ඔව්! මිනිසෙක්!!
අලුත් මිනිසෙක්! නුහුරු මිනිසෙක්!
ඈට හඳුනාගන්නට අසීරු මිනිසෙක්!
එහෙත්..
තව පියවර කිහිපයකට පසු හඳුනාගත හැකි මිනිසෙක්!ඈට නුහුරු වූ රඟහලේ ඈට නුහුරු වූ මිනිසෙක්!
වේගවත් සුසුමකින් තම පෙනහලු පුරවාගත් ඈ වේගයෙන් නැගී සිටියා.තම දෑස් තදින් පිසලූ ඈ නැවතත් ඒ අසුන දෙසට නෙත් ගෙන ගියා.
කුහරය..!
මිනිසා..!!
නැහැ. නැවතත් කුහරය..!!ඇගේ දෑස් ඈව නොසන්සුන් කර ඈව රවට්ටන්නට තැනුවා.ඇගේ හදගැස්ම ඈට අවනත වන්නට පසුබෑවා.
ඈ තිගැස්සුනා.
ඈ අන්ධකාර කුහරයට හදිස්සියේම බිය වන්නට වුනා.වේගයෙන් පසුපස හැරුන ඈ දිව යා යුතුව තිබුනා.
නුහුරු රඟහලද නුහුරු වේදිකාවද නුහුරු මිනිසාද අතැර ඈ ඈට සුපුරුදු තිරයෙන් පිටුපසට දිව යා යුතුම වුනා.
ඈ දිව යා යුතුම වුනා!
නමුත්..
ඈ...
ගල්වුනා.
ඇගේ දෙපා ඒ මොහොතේ ගල් ගැසුනා.
ඈම ඈව අනතුරක හෙලා තිබුනා!