2- ලංසුව The bidding

186 6 0
                                    

වෛශ්‍යාගාරය පිහිටි ගොඩනැගිල්ලේ පසුපස කොටස තනා තිබුණේ නාට්‍යය හා ප්‍රසංග ශාලාවක් ලෙසටය. එහි පහසුවෙන් නරඹන්නන් හැටකට පමණ එක වර අසුන් ගැනීමට හැකි වන පරිදි තණා තිබුණේය. එහි වහලය ඝෝලාකාර හැඩයක් ගත් අතර එහි මධ්‍යයේ සිට පහතට එල්ලා තිබුණේ ලෝහ කූඩුවකි. එහි එක වර පුද්ගලයන් තිදෙනෙකුට පමණ සිටිය හැකි ලෙස ඉඩ කඩ තිබුණේය. එම ලෝහ කූඩුව රන් පැහැයෙන් යුතු විය. එම කූඩුවට ලම්භකව ඊට පහළින් වෘත්තාකාර වේදිකාවක් තනා තිබුණේය. ඊට අඩි දෙකකට ඈතින් සිටින පරිදි ඒ වටා පිළිවෙලින් ඕක් ලී වලින් තැනූ අසුන් විය. ශාලාවේ ඉහළට වන්නට වූ කවාකාර බිත්ති අලලා බැල්කනි හතරක් සතර කොණින් විය. එම සුඛෝපබෝගී ශාලාව හුදෙක්ම ප්‍රංශ නගරයේ විසූ වංශවතුන් සඳහා එදින සිදුවන්නට යන විශේෂ කටයුත්ත හා සමාන වැඩ කටයුතු සඳහාම වෙන් වූවක් විය.

හැඩි දැඩි පෙනුමකින් යුත් ඔස්කාර්ගේ සහචරයන් දෙදෙනෙකුගේ ග්‍රහණයට මැදි වූ සෙලෙස්ටී, ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදෙන්නට පොර බදිමින් ප්‍රසංග ශාලාවට ඇතුළු වූවාය. මොහොතකට ඇයට ඇය සිටින තත්වය අමතකව ගිය පරිද්දෙන් ශාලාව පුරා දෑස් කරකවමින් බැල්මක් හෙළුවාය. නමුත් ඇගේ ක්‍රියාවට බාධා කරමින් ඇය දෙපස වූ සහචරයන් දෙදෙනා ඇයව ඉදිරියෙහි වූ රන් කූඩුව වෙත ඇදගෙන ගියහ. ඇගේ මුව සහ දෑත් රෙදි පටි වලින් බැඳ තිබූ හෙයින් කිසිඳු හඬක් නැගීමට හෝ සහචරයන් දෙදෙනා සමඟ සිත් පරිදි පොර බැදීමට හෝ අපහසු විය. නමුත් ඇය ඇගේ උත්සාහයද අත් හරින්නට සූදානම් නොවූවාය. රන් කූඩුව වෙත පැමිණි පසු එහි කුඩා ගේට්ටුව විවර කල ඔවුන් ඇයව ඒ තුලට බලෙන් තල්ලු කළහ. පසුව එහි දොර ඉබ්බන් දමා වසා දැමූහ. ඊටත් පසුව කූඩුවේ ලෝහ කූරු අතර හිඩැසින් සෙලෙස්ටිගේ දෑත් තරයේ අල්ලාගත් එක් සහචරයෙකු ඇගේ බැඳ දමා තිබූ රෙදි පටි ගලවා දැමුවේය. දෑත් නිදහස් වූ සැනින් සෙලෙස්ටී ඇගේ මුව බැඳී රෙදි පැටිය ගැලව ඉවතට විසි කළාය. පසුව කෝපයටත්, පීඩනයටත් පත් වූ කොටි දෙනක මෙන් රන් කූඩුවේ ලෝහ කූරු අතර එල්ලී ඔස්කාර් ඇතුළු ඔහු හා බැඳි සියල්ලන්ටම සාප කරන්නට වූවාය. නමුත් එහි වූ සහචරයන්ද පිටව ගිය පසු ඇගේ ගෙරවිල්ල අසන්නට කිසිවෙකු එහි නොවීය. ශීතල ශාලාව තුල ඇය මොහොතකට තනි වූවාය. ඇගේ ගෙරවිල්ල ඒ පුරා දෝංකාර දෙන්නට විය.

The Cupid මින්දද Where stories live. Discover now