1- සෙලෙස්ටි ( Celesti)

439 17 3
                                    

13 සියවසය මුල් භාගය - පැරීසිය  (මධ්‍යතන යුගය)

පැරිස් නගරයෙහි වූ එක් අඳුරු වීදියක කෙළවර වූයේ වෛශ්‍යාගාරයකි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි පහළ කොටස තැබෑරුමක් වූ අතර ඉහළ කොටස විවිධ ආකාරයේ හැඩයෙන්, පැහැයෙන්, වයසින් යුතු වෛශ්‍යාවන්ගේ තිප්පල විය. රාත්‍රී දහය වන විට එම සෙවල බැඳි අඳුරු වීදියෙහි වූ අනෙකුත් ගොඩනැගිලි, සල් පිළි මුළුමනින්ම පාහේ වැසී ගොස් නිහඬ වූ නමුත් වෛශ්‍යාගාරයෙහි වැඩ කටයුතු ආරම්භ වූයේම ඒ වේලාවටය. තැබෑරුමෙහි තැනින් තැන රංචු ගැසී සිටි පිරිමින් ඔවුන් වටා දැවටෙමින්, ඔවුනට මත්පැණින් උවටැන් කරන්නට වූ අඩ නිරුවත් ගැහැණුන් දෙස රාගික නෙතින් බැළුම් හෙළමින් උන්හ. ඇතැමුන් එම ගැහැනුන්ගේ නිරාවරණය වී ඉලිප්පී තිබූ අඟ පසඟ දෙස බලමින් අසැබි ලෙස විහිළු තහළු කරන්නට වූ අතර ඒවාටම හැඩ ගැසී සිටි එම වෛශ්‍යාවන් එවැනි පිරිමින්ව තව තවත් උසි ගන්වන අයුරින් හැසිරෙන්නට වූහ. හඬ නගා සිනාසෙන්නට වූහ. ඔවුන්ගේ පිරිමි සිරුරෙහි දැවටෙන්නට වුහ. ඔවුන්ගේ කාමුක හැඟීම් වඩාත් උද්දීපනය කරන්නට වූහ. එම ගැහැනුන්ගේ එකම අභිප්‍රාය වූයේ එහි වූ එක පිරිමියෙකු හෝ තම වසඟයට ගැනීමය. එසේත් නැතහොත් තම ගැහැනු ශරීරය මුදලට විකිණීමය.  ඇතැම් අවස්ථා හිදී එහි වූ වෛශ්‍යාවෝ එකම පිරිමියා බෙදා ගැනීමට නොහැකිව කෙස් වළු පටලවා ගත්හ. ඇතැම් පිරිමින්ද එකම වෛශ්‍යාව වෙනුවෙන් ගහ මරා ගත්හ. මේ අතරේ තවත් පිරිසක් සමාදානයෙන් එකට යහන් ගත වූහ.

එදින මහා වැසි සහිත රාත්‍රියක් වූවද වෛශ්‍යාගාරයට පැමිණි පිරිමින්ගේ නම් අඩුවක් නොවීය. එය වෙනදාටත් වඩා වැඩියෙන් පිරිමින්ගෙන් පිරී ගොස් තිබුණේ එහි සිදුවන්නට යන නවතම මාදිලියේ වැඩ කටයුත්තක් පිළිබඳ ඒ අවට වූ ගම් දනව් වල පැතිරී ගොස් තිබූ බැවිණි.

ආරංචියේ හැටියට එදින රාත්‍රියෙහිදී, පැරිස් නගරයෙහි විසූ සුන්දරතම ජිප්සි කාන්තාව මුදලට වෙන්දේසි වීමට නියමිතව තිබුණේය. එවැනි තත්වයකට ඇයව පත් වූයේ කෙසේද යන්න බොහෝ දෙනාගේ සිතෙහි නැගුන ගැටළුවක් විය. ඇතැමුන් හට ආරංචි වූ පරිදි ඇගේ රැහේ නායකයා විසින්ම එලෙස ඇයව මුදලට විකුණා තිබුණේය. තවෙකෙක් පැවසූ පරිදි ඇය විසින් කළ මුදල් සොරකමක් හිලව්වට ඇයව ඇගේ අහිකුන්ථක රැහෙන් නෙරපා දමා මුදලට විකුණා තිබුණේය. ඒ කුමණ අයුරේ ආරංචියකින් වත් එහි පැමිණ සිටි කාමුක මිනිසුන් රොත්තට ඵලක් නොවීය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වූයේ එකී දෙවඟනක් වන් සුරූපිනියගේ ඇඟිල්ලක් හෝ ලොවා ඇගේ සිරුරෙන් කිසියම් ආස්වාදයක් ලැබීමටය.

The Cupid මින්දද Where stories live. Discover now