තෙවන පරිච්ඡේදය

41 8 7
                                    

මෙම වසරේ වසන්ත උත්සවය උදෙසා අධිරාජිනියගේ අනුග්‍රහයෙන් ප්‍රධාන Nuwa දෙවොලේ නැගෙනහිර අංගනයේ අලුත්වැඩියාවක් සිදුකෙරිණි.නව සිතුවම් කිහිපයක් ද නිමවූ අතර ඒ අතරට Nuwa දෙවඟනගේ, විශාල ප්‍රමාණයේ තනි සිතුවමක් ඇඳි තිරයක් ද අයත් විය.එම සිතුවම අධිරාජිනියගේ විශේෂ අවධානයට පාත්‍ර වී තිබුනි.ඇයගේ මෙම ක්‍රියාකලාපය අනුව ඇය මව් දෙවඟන කෙරෙහි දැඩි භක්තියක් ඇති බැව් ප්‍රකට වූව ද සත්‍ය නම් ඇය මෙදෙස බැලූයේ දේශපාලනමය ඇසකින් වීම ය.එ සමය මාතෘ දෙවඟන ඇදහීම අන් ඇදහිලි පරයා ඉස්මතු වූ කාලයකි.තමා යටතේ ඇති රාජධානිය කෙතරම් සමෘද්ධිමත් වුව ද අභ්‍යන්තරයේ ඇති නොනවතින බල අරගලය පිළිබඳ තියුණු මනසින් යුතුව මනා අවබෝධයකින් සිටි ඇය,සෑම සාමාජීය,ආගමික, දේශපාලනික කාරණා වලින් උපරිම ප්‍රයෝජන ගැන්මට සමත් විය.අධිරාජිනිය සියළු රටවැසියාගේ මව මෙන් කටයුතු කරන අතර ඇය මව් දෙවඟනගේ නොමඳ ආශිර්වාදය ලද තැනැත්තියක් බවට සියුම් මතයක් රාජධානිය පුරාවට පැතිර තිබූ අතර එය ඇගේ රාජ්‍ය පාලනයේ ස්ථාවරත්වයට ද උපකාරයක් විය.

නැගෙනහිර අංගනයේ අළුත්වැඩියාව අවසන් ව තිබූ අතර විශේෂිත සිතුවම ද අවසාන අදියරේ පසු විය. අධිරාජිනිය පැමිණ වත්පිළිවෙත් සිදුකර,සිතුවම දෙවඟන වෙත පුදකරන තුරු නැගෙනහිර අංගනය භක්තිවන්තයින්ට තහනම් කලාපයක් ලෙස නම් කෙරුනි.

ප්‍රධාන පූජකතුමා ඉතා සෙමින් පිය මනිමින් සිතුවම අසළට පැමිණි අතර එම අග්‍රගණ්‍ය සිතුවම නිමැවූ පින්සල දරන්නා සිය දෙඅත් එක්කොට ඔහුට ආචාරය කළේ ය.ආචාරය පිළිගත් ඒ වියපත් ප්‍රඥාවන්තයා මඳ වේලාවක් යනතුරු සමාධියකට පත්වූවාක් මෙන් සිතුවම දෙස බලා සිටින්නට විය.

"මා ඔබට කෘතඥ විය යුතු යි මගේ දරුවෝ. මව් දෙවඟන මෙතරම් සුන්දරව දැකීමට හැකිවේ යැයි මා කිසිකලෙකත් සිතුවේ නෑ.මහළු වියේ සිටින මට එතුමියගේ දිව්‍යමය සුන්දරත්වය දැකගැන්මට ලැබුනේ අධිරාජිනියත් ඔබත් නිසා.ඔබ දෙපළටම මව් දෙවඟනගේ ආශිර්වාදය ලැබේවි මගේ දරුවෝ"

ඒ ප්‍රධාන පූජකතුමා ගේ හැඟීම්බර වදන් ය.එය සැබෑම ආශිර්වාදයක් ලෙස සැලකිය හැකිය.මන්ද යත් මේ මහළු ප්‍රඥාවන්ත මිනිසා සැබැවින්ම ගුණයහපත් වූ බැවිනි.අධිරාජිනිය සිය දිවිය තුළ සැබෑම ගෞරවාදරයෙන් සළකන අතළොස්සක් පිරිස අතර ඔහු ඉහළින්ම සිටි අතර සර්වසාධාරණ මනුෂ්‍යයෙක් වූ බැවින් අධිරාජිනියගේ පුද්ගලික උපදේශක තනතුරක් ද දැරී ය

Song of the Mountain - (Slow Update)Onde histórias criam vida. Descubra agora