ආදරණීය සුදු කඩදාසිය,
Nateමේ කඩදාසි මාරයි නේද Nate?
පෑන හරි අමාරුවෙන් උස්සං ඉන්න තීන්ත ටිකෙන් ටික අරගෙන පෑන ඒ බරින් නිදහස් කරනවා. මමත් මගේ හිතේ බර ඒ තීන්ත වල තවරලා අකුරු විදිහට ඒ කොල වලටම පටවනවා. ඇත්තටම මිනිහෙක්ගේ හිතේ බර නිදහස් කරන්න තවත් මිනිහෙක්ම ඕන නෑ. ඒකට කඩදාසි ටිකකුයි පෑනකුයි තිබ්බම හොඳටම ඇති. ඒක හරි සාර්ථක ක්රමයක්, මම වගකීමෙන් කියන්නේ.
අදටත් මම ස්තූතිවන්ත වෙනවා ඔයාගෙ නම මට ඇහෙන්න ඔයා ගැන කතා වෙච්ච ඒ මිනිස්සුන්ට. මම ඒ කටහඬවල් ආවේ කොහෙන්ද කියලවත් දන්නෙ නෑ. ඒත් මොකක්මහරි හේතුවකට හුළඟ එයාලගෙ කටින් එලියට පැනපු ඔයාගේ නම මං ළඟට අරං ආවා. අනන්තවත් මට ඔය විදිහට නම් ඇහිලා තියෙනවා ඒත් කවදාවත් මෙහෙම ඒ ඇහුන නම් වලට ලියුම් ලියන්න මට හිතිලා නෑ Nate.
මම දන්නේ මෙච්චරයි,
දැන් උඹ මගේ ජීවිතේ කොටසක්!!!මේ ලියුම් උඹට හම්බවෙන එක අවිනිශ්චිත දෙයක්. ඒ නිසාම උඹ මාව දන්නවා කියන එකත් හිතලුවක්. කමක් නෑ Nate, මම උඹව දන්නවා ඒ ඇති මට.
මොනතරම් අතාත්වික උනත් මේ ලියුම් උඹට ලැබෙන එක, මගේ හිත කියන්නේම මේ ලියුම් උඹ කියවනවා කියලමයි. මොකද මම විය හැකි දේට වඩා විය නොහැකි දේ විශ්වාස කරනවා. සමහරවිට මම අද විඳවන්න හේතුවත් විය හැකි දේ ගණන් නොගෙන විය නොහැකි දේ හඹා යන එක වෙන්නැති. මමත් හරියට ලෝකය තැටියක් කියලා හිතාගෙන ලෝකෙ කෙලවරක් හොයන් යාත්රා කරන නාවිකයෙක් වගේ. ඒත් කරුමෙ කියන්නේ ලෝකෙ තැටියක් වෙන්න බෑ කියන එකත් මම දන්න එක. ඒත් මගේ හිත ආසයි බොරුවක් උනත් ලෝකය තැටියක් කියන එක පිලිගන්න. ඒ බොරුවෙන් රැවටිලා අහසයි මූදයි එකට එකතු වෙන, රතු පාට ඉර ගිලිලා යන ඒ මායාකාර ක්ෂිතිජය හොයාගෙන යන එකට මම කැමතියි. ඒක මගේ කරුමෙ. ඒකයි සම්මතය පැත්තක තියෙද්දි අසම්මත යැයි සම්මත දෙයක් පස්සේ දුවන්නේ.
අවුරුදු දහනමයක් මම හිටියේ තනියම. අම්මයි තාත්තායි හැමදාම කාර්යබහුල වෙලා සල්ලි හෙව්වා. ඒ හැමදාකම මම තනියම ගෙදර බිත්ති හතරක කොටු වුනා Nate. කියාගන්න ගොඩක් දේවල් තිබුණත් ඒවා කියන්න කෙනෙක් නැතුව මම අසරණ උනා. මට හැමදාම ඕන උනේ මගේ කතාවලටත් ඇහුම්කන් දෙන්නෙක්ව! ඒත් කාටවත් ඒකට උවමනාවක් තිබුණේ නෑ. ඒනිසා මම තීරණය කළා නිශ්ශබ්ද වෙන්න. මුලදි ඒ තරම් අමාරු නොවුණත් ඒ නිහඬ පිලිවෙත දැන් සෑහෙන්න අමාරුයි. මොකද දවසින් දවස හිතේ එකතු වෙච්ච පුංචි පුංචි හැඟීම් වල බර දැන් දරාගන්න බැරි තරමට වැඩි වෙලා Nate.
ඒත් දෙවියෝ මගේ ලෝකෙට උඹව ගෙනාවා. (මං ඔයාට උඹ කියලා කිව්වට කමක් නෑ නේද Nate? ඔයා කියන එකට වඩා උඹ කියන එක හරිම ආදරණීයයි මටනම්) උඹත් හරියට කඩදාසියක් වගේ Nate. මගේ හිතේ තිබ්බ බර ටිකෙන් ටික උඹ උරා ගත්තා වගෙයි මට දැනුනේ. දන්නවාද හැම බදාදාවක්ම වෙනකන් දැන් මම ඉන්නේ ඇඟිලි ගැන ගැන. මොකද මේ ලියුම් ගඟට අතාරින්නෙ මම එදාට. ඒත් එක්කම මගෙ හිතට දැනෙන්නේ පුදුමාකාර සහනයක් Nate. උඹගෙන් ලියුමක් වෙනුවෙන් මම හැමදාකම බලන් ඉන්නවා Nate. අනේ මේ ගඟ ආපස්සට ගැලුවනම්....එහෙනම්, හදිසියේ හරි ඔයාගේ අතට ආපු ලියුමකටවත් උත්තරයක් ඔයා එවයි නේද Nate?
තීන්ත පෑන,
Clyde_________________
අනේ comment එකක්වත් දාන්නකො 😂
මේවා හෙන විකාරයි වගේද
ඔයාලට දැනෙන දේ කියලා යන්න නිකං කියවලා විතරක් යන්න එපා 😚❤️
YOU ARE READING
From Clyde to Nate
Poesiaසිසිරයේ අතරමං උන හදවතකින්, දෙවියන් දුන් මිතුරෙකු වෙත.... Letters from Clyde to Nate ♡