1 කොටස

33 3 3
                                    

මහලු මිනිසා තමා ඉදිරියේ හිඳගෙන හුන් තරුණයා දෙස විමසිල්ලෙන් බලාසිටියේය. මේසය මත පෙරලා තිබූ පොතෙහි ඝනකම් පිටුව තරුණයාගේ දකුණතෙහි දිගැති ඇඟිලිතුඩු අතර දෝලනය වෙමින් තිබුණේය. සිය මුහුණ වමතට බරකරගෙන සිටි ඔහු ගිලී සිටියේ බර කල්පනාවකය. වරින් වර සෙමින් ඇසිපිය සැලූ එම නිල්පැහැ දෙනෙත් එක එල්ලේම පොත දෙසට යොමුව තිබූ නමුත් ඔහු එය කියවන බවක් නොපෙනිණ. සිය කෝපි කෝප්පය තොලගාමින්, මිනිත්තු කිහිපයක පටන් මෙලෙස තරුණයා වෙත අවධානය යොමු කරසිටි මහල්ලාට තරුණයා වටා කාලය මන්දගාමී අයුරින් ගතවනවායි සිතිණ. එහෙත් කාලය තමා වටා වේගයෙන් ගලායනු මහල්ලාට දැනුණු අතර කලක සිට එම හැඟීම ප්‍රබල වෙමින් පැවතියේය. සිය ජීවිතයේ සැඳෑ සමයේද අවසානභාගය ගත කරමින් සිටි ඔහුට කාලයේ වේගවත් ගමන බොහෝ සෙයින් දැනෙන්නට පටන්ගෙන තිබීම අරුමයක් නොවීය.

රස විඳිමින් සිටි කෝපි කෝප්පය පසෙකින් තැබූ මහල්ලා අසල වූ කෝපි පෝච්චිය දෑතට ගත්තේය. තරමක් කුඩා ප්‍රමාණයේ සුදු පැහැති තේ පෝච්චියක් වූ එය ලා රත් පැහැති ටියුලිප් මල් පොකුරකින් අලංකාර කොට තිබුණි. එවැනිම ආකාරයේ කැටයමකින් යුත් කුඩා තේ කෝප්පයකට මහල්ලා කෝපි ස්වල්පයක් වත් කළේය. තරමක් වෙව්ලන ඔහුගේ වියපත් දෑතින් කෝපි නොඉහිරීමට තරම් ප්‍රවේසම් වූ හෙතෙම එය තරුණයා ඉදිරියේ තැබුවේ කතාවකට මුලපිරීමේ අටියෙනි. කුඩා කෝප්පය මේසය මත තැබීමේදී නැගුණු සියුම් හඬ තරුණයාව ඔහුගේ කල්පනා ලෝකයෙන් මුදවා ගැනීමට තරම් වූ නමුත් ඔහු පියවි ලෝකයේ දිගු වේලාවක් රැඳී නොසිටියේය. තමා ඉදිරියේ වූ කෝපි කෝප්පය දෙසත් පසුව මහල්ලා දෙසත් බැලූ හෙතෙම උදාසීන නමුත් ස්තූතිවන්ත සිනහවකින් මහලු මිනිසාට සංග්‍රහ කර කෝපි කෝප්පය අල්ලා තමා වෙතට ලං කරගත්තේය. විටෙක ඔහුගේ අතැඟිලි කෝප්පය වටා ලතාවකට ඇදීගියේය. තවත් විටෙක ඒවා කෝපි කෝප්පයෙන් ඉහළට නැගෙන උණුසුම් දුමාරයෙහි එහා මෙහා ගමන් කළේය. එලෙස නැවතත් සිය කල්පනා ලෝකයේ සැරිසරමින් සිටි තරුණයාගෙ සිතැඟි කියවීමට මහල්ලාට අපහසු නොවීය. එහෙත් කිසිවක් නොවිමසූ ඔහුගේ මුවෙහි සිහින් හසරැල්ලක් ඇඳුණේ තරුණයාගේ සිතුවිලි ඔහුට ඇසුනාක් සේය.

STARLIGHT Where stories live. Discover now