2 කොටස

14 3 0
                                    

එය 1915 වර්ෂයේ මාර්තු මාසය විය. පරිසරයම සුවඳවත් කරමින් තුරුවදුල් පුරා පීදීගෙන ආ මල් කැකුළු මෙන්ම අතුරිකිලිවල හටගත් නව අංකුරයන්ද, ඒවායේ දළුලමින් තිබූ හරිත පැහැ ලාදළුද වසත් සමයේ ආරම්භය මනාව සනිටුහන් කළේය. දහවලේදී ඉතා පැහැදිලිව තිබූ ආකාසයේ ලා නිල් පැහැය ක්‍රමක්‍රමයෙන් තද නිල් මිශ්‍ර දම් පැහැයකට සහ තැඹිලි මිශ්‍ර රෝස පැහැයකට හැරෙමින් තිබුණේ ආකාසය පුරා අපැහැදිලි වර්ණ රටාවන් රැසක් මවමිනි. නටුවෙන් ගිලිහීමට ආසන්න දොඩමක් මෙන් දිස්වූ හිරු දිනයේ සිය රාජකාරි අවසන් කර අවරට යමින් තිබූ අතර මලහිරුගේ රශ්මිය, තැනින් තැන විසිරී තිබූ සුදු පැහැ විශාල වළාවන් රතුතැඹිලි වර්ණයකින් සිත්තම් කළේ ඒවා ඇතුළත ගිනිජාලා ඇවිලෙන්නාක් සේ පෙනෙන අයුරින්ය.

අධික උණුසුමක් හෝ සීතලක් නොතිබුණු එම සෞම්‍ය සන්ද්‍යාවේ ආකාසයේ ඇඳෙමින් තිබූ අපූරු වෛවර්ණ සිතුවම, කාර්‍යබහුල බුකාරෙස්ට් නගර වැසියන්ගේ දෑසට නම් එතරම් වැදගත් නොවීය. එහෙත් අගනගරයේ පටු වීදියක් ඔස්සෙ ඉදිරියට ඇදෙමින් තිබූ සුඛෝපභෝගී අශ්ව කරත්තයෙහි ගමන් ගත් දහනව හැවිරිදි තරුණයාගේ දෑස් පිනවීමට තරම් ආකර්ෂණයක් එහි විය. වංශාධිපති ස්වරූපයක් ගත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි හෙතෙම සම්පූර්ණයෙන් විවෘත කර තිබූ කරත්ත කවුළුවෙන් පිටතට එබී අහස දෙස ඉතා ආශාවෙන් බලාසිටියේ කුඩා දරුවෙකු විලසිනි.

" හැමතැනටම පේන්නෙ එකම අහස."

අශ්ව කරත්තයේ එහාපස අසුනින් ඇසුනේ සන්සුන් කටහඬකි.

" ඒත් ඒ හැමතැනකදිම මගේ හිතේ තියෙන්නෙ එකම හැඟීම නෙමෙයිනෙ."

තමා දෙස බැලීමටවත් කරදර නොවුණු තරුණයා දෙස ඔහු මද වේලාවක් බලාසිටියේය. අහසේ මැවෙන වර්ණවලට අනුව තරුණයාගෙ දෑස්ද නොයෙක් පැහැවලින් වර්ණ ගැන්වෙන අයුරු බලාහුන් හෙතෙම කිසිත් නොකියා ඉවත බලා ගත්තේ තරුණයාගේ නොසන්සුන් දෙනෙත් ආකාසය අතැර කඩවීදිය වෙත යොමුවෙද්දීය.

වීදි දෙපස වෙළඳාමේ යෙදුණු වෙළෙන්දන්ගේ හඬින් මෙන්ම කඩවීදි පුරා ගමන්ගත් මිනිසුන්ගෙන් බුකාරෙස්ට් අගනගරය පිරී ඉතිරී තිබුණි. හොඳින් හැඳපැළඳගත් මිනිසුන් විශාල කඩ සාප්පුවලට ඇතුළු වූ අතර සාමාන්‍ය ඇඳුමින් සැරසුණු බොහෝ දෙනා වීදි දෙපස වූ කුඩා වෙළඳසැල් වෙත ඇදී ගියහ. නගරය එතරම්ම කාර්‍යබහුල වී තිබූ අතර එම මංමාවත් ඔස්සෙ ගමන් ගත් අශ්ව කරත්ත සිය වේගය අඩාල කර තිබුණේ පැවති ජනාකීර්ණ බව නිසාමය. එහෙත් කිසිවිටෙකත් මාර්ගයේ තදබදයක් නොතිබූ අතර අශ්වයින් සන්සුන්ව හැල්මේ ගමන් කළේය. අතරින් පතර පිහිටා තිබූ රසකැවිලි සැල්ද ඉන් එකකින් රසකැවිලි අහුරක් සොරාගෙන වේගයෙන් දිවගිය කොලු රෑනක්ද තරුණයාගෙ දෙනෙතට හසුවිය. ඔවුන්ට බැනවදිමින් ඔවුන් පසුපස කෑගසමින් හඹාගිය වෙළෙන්ඳා දැක ඔහුට සිනහ පහළ විය. තවත් ස්ථානයක දුප්පත් පොහොසත් භේදයකින් තොරව පිරිස වටවී නරඹමින් සිටියේ එම වෙළෙන්ඳා සතුව තිබූ අරුම පුදුම සෙල්ලම් බඩු තොගය දෙසය. ඊටත් වඩා අරුම පුදුම දෙය නම් පොහොසතුන්ට මෙන්ම දුප්පතුන්ටද දැරිය හැකි මුදලට වෙළෙන්ඳාගේ සෙල්ලම් බඩු අලෙවි වීමය. ඊට මදක් එහායින් පදික වේදිකාවේ තැනින් තැන තිබූ මල් කරත්තවල විවිධ පැහැයන්ගෙන් සමන්විත ඩේසි, ලිලී, රෝස, ටියුලිප් වැනි මල් පොකුරු දුසිම් ගණන් විකිණීමට තියා තිබිණ. එයින් එක් කරත්තයකින් ‍සුදු පැහැති ටියුලිප් මල් කළඹක් මිලදී ගත් මැදිවියේ තරුණයෙකු ඔහු සමඟ සිටි හුරුබුහුටි තරුණියට එය ආදරෙන් පිළිගන්වන අයුරුත් මල් කළඹ අතට ගත් ඇය ලැජ්ජාවෙන් සිය පෙම්වතාට තුරුලු වූ අයුරුත් දුටු තරුණයා සිය ගමන් සගයා දෙස බලා ඇසක් ඉඟිමැරූ අතර ඔහු එය නොදැක්කා සේ ඉවත බලාගත්තේය. මෙසේ බුකාරෙස්ට් වැසියන් ඉතා සතුටු සිතින් වසන්තය පිළිගනිමින් සිටි බව ඔවුන්ගේ මුහුණුවලින්ම පෙනෙන්නට තිබිණ. මේ සියලු දෙය පුදුමයෙන් මෙන්ම ආශාවෙන් බලාසිටි තරුණයා ගමන් ගත් සුඛෝපභෝගී අශ්ව කරත්තය ඉදිරියට ඇදෙමින් තිබුණේ අගනගරයේ විශාලතම තැබෑරුම පසු කරමිනි.

STARLIGHT Where stories live. Discover now