#දහවෙනි_කොටස 💜️
මං චූටිට එහෙම කිව්වෙ අරුන් ටික ගියාට පස්සෙ..ඒත් චූටි මුකුත් නොකියා මං ගාවින් වාඩි වෙලා එහෙම්ම පහත් වෙලා වැල්ලෙ තියෙන සිප්පි කටු අහුලන්න ගත්තෙ හිත හදාගන්න වෙන්නැති කියලයි මට හිතුණේ...උටත් කොහොමත් දුක ඇති..ඊට වඩා දහ ගුණයක් මට දුකයි...කේන්තියි..වේදනාවයි..එහා පැත්තෙ ඉන්න පොඩි එකාට මූණ දෙන්න ලැජ්ජයි ඔක්කොටම වඩා..ඔන්න මං ඇත්තටම පැරදුනා නම් කමක් නෑ..ඒත් හෙම නෙවෙනේ..මේක හිතලම කරපු දෙයක් හින්දා මට තියෙන්නෙම කේන්තියක්...මට දුක අර වෙලාවෙම උගෙ කන අතගාන්න බැරි වුණු එක ගැන...
"යමන් බන් දැන් ගෙදර රෑ විලා.."
බැහැන් යන ඉර දිහාවෙ බලන් මං කිව්වෙ පෑරෙන හිතට බෙහෙතක් වෙන්න..තව ටිකෙන් ඉර නැතුව හඳ පායනවා..ජීවිතෙත් එහෙම නේද...එක විනාඩියෙන් හැමදේම වෙනස් වෙනවා..දුප්පත්තු පෝසත්තු වෙනවා..පෝසත්තු දුප්පත්තු වෙනවා..මිනිස්සු මැරෙනවා..ආයෙ ඉපදෙනවා..නිමක් නැති රවුමක අනන්ත ලක්ෂ හොයනවා වගේ නේද මේ ජීවිතෙත්...මට හිතුණා...
"තමුසෙත් පන්දාහක්ම දැම්මද.." ?
"නෑ.."
"කීයක්ද හෙනං.."
"දැන් මොන රෙද්දටද ඒක..යමන් ගෙදර...අම්මට හෙම මුකුත් කියනවා නෙවෙයි උඹ සල්ලි ගැන.."
"කියන්ඩ ඕනි නෑ...දැනටමත් දන්නවා ඇති.."
"දැනගත්තහමනෙ ඒක..එතකොට මං ඒක බලාගන්නම්..යමන්.."
චූටියි මායි දෙන්නා ආපහු එද්දි හතත් පහුවෙලා..පැයක් විතර දෙන්නත් එක්ක තනියම හිටිය නිසා මගේ හිත පොඩ්ඩක් විතර සැහැල්ලු වෙලා තිබ්බත් අළු යට හැංගුණු ගිණි පුළිඟු ඒ විදිහටම තිබ්බා...ඒවා ඇවිලෙන්න මහ වෙලාවක් ගියේ නං නෑ...අපි දෙන්නා ස්ටේෂන් එක පහු කරපු ගමන් තියෙන වැටකෙයියා යාය ගාවින් යනකොටම මට සසිතයව ආපහු මූණටම මුලිච්චි වුණා..මට එකපාරටම අඳුර මැද්දෙ අඳුරගන්න බැරි වුණත් ඌ මාව අඳුරගන්න ඇත්තෙ ලයිට් කණුවෙ තිබ්බ බල්බ් එකේ එළියෙන්..මාව දැක්ක පාර මූ යන්න ආපු පාරෙන් නොයා අනික් පාරෙන් ආපහු වැල්ලට දුවන්න ගත්තෙ මූණ දීගන්න බැරි කමට වෙන්නැති...
![](https://img.wattpad.com/cover/368090715-288-k514355.jpg)