01

53 6 34
                                    

"රෙගුම් ගුඳත් ගත් දෙගත් ගතකු දොං!"

අඩි තුනක් තරමට උස් පිල්කඳ මත්තේ වාඩි වී හිඳින්නේ ඉසේ තැනින් තැන නර කෙස් කිහිපයක් මතු වෙන්ට ගත්ත තද පාට ඒ වුණත් ප්‍රියමනාප හමක් ඇති තලතුනා වයසක ඉන්න පිරිමි පරාණයක්. ඒ පිරිමියා උරයේ කම්බි ලේන්සුවකුත් දමාගෙන දෑතින් ම දෙදණට මෙපිටින් හිටින ආකාරෙන් ඉණ බැඳල තබා ගත්ත දිග් බෙරයක දෙකෙළවරම වහ ගත්ත පදම් වෙච්චි හම් පට කම්පනේ කරන නාදෙ කනට ඇහෙන්නේ එහෙම. තදම තද කලු පාට ත් මුහුදේ තද නිල් පාට ත් එකට හාමු වුණ පට සරමකින් සැරසිලා ඉන්න ඔහුගේ නග්න උඩුකයේ උදරය මත්තෙන් පරිණත බව හන්දාම උරුම වන රේඛා ද්විත්වයක් වැටී තිබුණේ ඔහු ගාව තියෙන ඒ පරිණත මෘදු පෙනුම තව තවත් ඔප් නංවමින්. දකුණු අතෙහි උරිස්සට පහළින් කලු නූලක අවුණලා බැඳගෙන තිබුණ සුරය ඒ මෘදු පෙනුමට දකුණු රටටම ආවේණික අමුතු ම තේජසකුත් එක්කාසු කොරල තිබුණා.

ඔහුගේම පැත්තකින් පිල් කඳ මතම වාඩි වීගෙන උන්නේ තවත් එවැනි ම වයසක බීරලු රේන්දයෙන් හැඩ කල සුදු පාට කබා කුරුත්තුවකට තවත් වටිනා පේන නොපේ⁣න ගාණිං කලු ඉරි වැටුණ තද නිල් පාට පට කම්බායක් ඇඳ පැළඳ ගත්ත ප්‍රියමනාප ගැහැණියක්. ඈ තාලම් පටින් තාල තියන්නේ දිග් බෙරයේ ගැඹුරු රැව් දෙන නාදෙ අස්සෙං හොරාවට වහං වුණ මාත්‍රා වගතුග පින්න හන්දා ඩිංගක් තෙත බැහැ ගත්ත සුදු වැලි බි⁣ම මත්තෙ සුරල් පාග පාගා රඟන ගැට වයසේ උන්ට මතක් කර දෙන්නට.

"දෑතින් පන්දු උඩ දමමින් නොවල සිනා
ඈතින් සිට නටා පද නිවැරැදි ලෙසිනා
මේ දැන් සබේ සිටිනා සැම සන්තොසිනා
ඈතින් බලන් සුරඹා වල්ලිය නටනා"

හිරිමල් වයස ගෙවමින් හුන් වරලස නිතඹ වෙනකාංම දිග් ගැහුණ මී පැණි පාට ගැහැණු ළමයින් දහ දොළොස් දෙනෙකු උන්ගේ මිහිරි හඬ නඟා ගයමින් ම ඇහෙන බෙර හඬට පාද තබනවා. ඒකත් ඒ දෑතෙ හි මිරිකල ගුලි කර ගෙන රඳවා ගත්ත සුදු පාටින් පිරියම් කරාපු කුඩා කුඩා කදුරු බෝල ත් වරින් වරේ ගුවනට අතහැර යළිත් අතටම ගනිමින්.

ඒ නැටුම නම් බලා හිඳින්නටම වටින මනස්කාන්ත දසුනක්. මැණ්ඩියට නැමි බරට වැල්ල එබෙන්න ම පාද තබන ගැහැණු ළමුන් ගේ දෑත් පවා පාද රටාවට ගැලපෙන ලෙසම හරඹ පානවා. හරියට සුළඟට හව් වෙලා මෘදුව වැනෙන මල් ඉති අතු වගේ. බෙර පදට අනුරූපව හිටි ගමනකට කරන සුරල් පෑගුමකදී ඒ ⁣දෑත දෙපා විතරක් නෙව ඒ හැඩැති සිහින් ඉඟ සුඟ ද පැද්දී නැලවෙන දර්සනේ මනුස්ස නෙතකට පංකාදු පහයි. බරට පෑගෙන අඩව්වක ඉරට්ටියක වෙහෙස නිවෙන්නට හමා යන සිහිළ් සුළඟට හාද වෙලා උන් ගේ දිගු කේශ කලාපයනුත් බෙර පද තාලයටම රඟ දෙනවා. ඉතින් දොළක ගලා යන දිය දහරක් වගේ ඒ සුළලිත සෞම්‍ය සුනම්‍ය නැටුම සැබැහින්ම බලා හිඳින දෑස් සනහා පිනවනවා.

ඉඳුසැව් ගව්ව (SlowUpdate)Where stories live. Discover now