කළුවර අහසක වරින් වර මහ හඬින් විදුලි කොටනවා සේ සාරාගේ හදවතට ඒ නෙත් කතන්දරය දවස පුරා ම කරදර කරන්නට විය. ඔහු පෙනුමින් කොතරම් කඩවසම් වුව ද, ඒ සොඳුරු කඩවසම් රුවට නොගැළපෙන අසරණ පෙනුමකින් ඔහුව සාරාගේ හදවතේ ඇඳී ඇත. මනසින් එම රුව මැවෙන මොහොතක් පාසා පපුව කීරි ගසන වේදනාවක් ඇයට ඇති වෙයි. ඒ, බාහිරට නොපෙනෙන ආර්ථිකමය අසරණකමකින් ඔහු පීඩා විඳින බව සිහි වෙද්දීයි. එය අන්සතු දෙය පැහැරගැනීමට තරම් උත්සන්න වී ඇත. නමුත් ඹහුට වෙනත් විකල්පයක් සොයා ගත නොහැකි ද? ඇය එම පැනයට විසඳුම් සෙව්වා ය.
"ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් විදියට ජොබ් එකක් කරන්න පුළුවන් නේද තරූ?"
ඇය මිතුරියගෙන් විමසුවා ය.
"කරන්න නම් පුළුවන් ඉතින් ටයිම් මැනේජ් කරගන්න පුළුවන් නම්. ගොඩක් කොල්ලො නම් ටියුෂන් කරනවලු. ඇයි ඔයාට කරන්න ඕනෙ ද?"
"නෑ නෑ... මං මේ බැලුවේ හැමෝම ගෙවල් වලින් ඉල්ලන්නැතුව ඇතිනේ"
තරූට සැක නොසිතෙන පරිදි සාරා පැවසුවා ය. මිතුරියන්ගේ ඒ සම්බන්ධ පිළිසඳර තවත් දුර දිග නොගියේ ඈතින් ඇසුණු භාග්‍යගේ කෑ ගැසීමටයි. භාග්‍ය මේ දින කිහිපයට බැච් එකේ සියල්ල අතර ජනප්‍රිය වූයේ ඔහුට ම ආවේණික මේ ගිරිය යටින් එන කෑ ගැසීමටයි.
"ඒ යකුනේ...තොපි දෙන්නා ඔතනට වෙලා මඟුලක් කරනව ද? අඩෝ යුනියන් එකට පරක්කු වෙලා කියලා අන්න අරහෙ රෙපා සලු පාලිය නටනවා. සූටි කකුල් ඉක්මන් කරලා වැඩපල්ලා මයෙ අම්මලා"
ටින් බෙලෙක්ක හඬ වටේ පිටේ අයට ඇහෙන්නට ගද්දි ම සාරා හා තරූශා කතා බහ මඳකට නවතා නැඟිට ගත්තා ය. ඉන්පසු ඔවුන් දුවගෙන මෙන් ගොස් භාග්‍ය ඇතුළු මිතුරන්ට එකතු වූයේ සරසවි දිවියේ තවත් අළුත්ම අත්දැකීමක් විඳ ගැනීමටයි.
...............................................................විශ්ව විද්‍යාලයේ එක් එක් පීඨයන්හි, විවිධ දෙපාර්තමේන්තුවල එකතුවෙන් පැවැත්වෙන ශිෂ්‍ය සංගම් රැස්වීමකට සාරා ඇතුළු අළුත් කණ්ඩායම සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය එසේ වාස්තු විද්‍යා පීඨයේ සියළුම දෙපාර්තමේන්තු එකතුවෙන් පැවැත්වෙන වාස්තු විද්‍යා ශිෂ්‍ය සංගමයයි. ඒ සඳහා සහභාගී වීමට ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එකට රැස් වූ සියළුම වසරවල සිසුන් එහි පඩි මත අසුන් ගනිද්දී ශිෂ්‍ය සංගම් නායකයන් පිරිස ඔවුන් ඉදිරියට විත් එක පෙළට සිට ගත්හ. ඉන්පසුව සිසුන් පිරිස ඇද බැඳ ගනිමින් දේශන කිහිපයක් ශිෂ්‍ය සංගම් නායකයන් විසින් සිදු කරන ලදී. ඒවා ශිෂ්‍යයන් මුහුණ දෙන කාලීන ගැටළු, විශ්ව විද්‍යාලය තුළ සිදුවිය යුතු වෙනස් වීම් ආදී නොයෙක් මාතෘකා සමඟ සම්බන්ධ විය. නමුදු එම දේශනවල කියවුනු කිසිවක් සාරාගේ දෙකනින් එහා මනසට ළං නොවුණි.
YOU ARE READING
🌼ඩැෆඩ්ල්🌼
Romanceපුංචි ම පුංචි කහ පාට මලකට පුළුවන් නම් හිත්පිත් නැති ශීත ඍතුවේදිත් වසන්තය ගැන ම හීන පොකුරු අහුලන්න