🌼 පළමු කොටස 🌼

13 0 1
                                    

යතුරු පැදියක කඨෝර හඬ සවන් රිදවමින් එහාට මෙහාට යමින් සාරාගේ සැප නින්දට බාධා කරන්නට විය. එම හඬ නෑසී ගිය සැනින් කොහේදෝ සිට බටිචි කුරුල්ලන් යුවලක් උදෑසන ම රණ්ඩුවක් අල්ලන්නට පටන් ගෙන ඇත. ළා හිරු රැස් බැල්කනියේ වූ විශාල වීදුරු දොරින් පෙරී විත් සාරාගේ රෝස පැහැ මුව මත දඟ කරන්නට වූයේ තව දුරටත් සැප නින්ද ඇයට අහිමි කරමිනි.

නිදිගැට කඩමින් සාරා බැලුවේ කාමරයේ පොත් මේසය උඩ වූ අම්මාගෙන් උපන්දින තෑග්ගක් ලෙස ලද කුඩා බිම්මලක හැඩති ඔරලෝසුව දෙස ය. එහි උදෑසන හය සටහන් වී තිබිණි. සුඛෝපභෝගී යහන, සිනිඳු ඇතිරිලි හා පුළුන් කොට්ට මතින් මිදෙන්නට දැණුනු ලෝභ කම මැඩගෙන, ජීවිතයේ කිසි ම දිනයක නොලද්දා වූ තරම් සැප නින්දට සමු දී සාරා අවදි විය. අවදි වී තනිව ම ජීවිතයට මුහුණ දෙන්නට ඇය සූදානම් විය යුතු ය. සමහර විට ඊයේ රාත්‍රියේ ඇය ලැබුවේ ජීවිතයේ පළමු සහ එක ම සුව නින්ද විය හැකි ය. නිදිවරා ජයගත යුතු ජීවිතයක් දැන් ඇය ඉදිරිපිට ඇත.

සාරා දේවින්දි ඒකනායක, තංගල්ල බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයට තේරී පත් වූ යුවතියකි. විශ්ව විද්‍යාලයේ නේවාසික පහසුකම් ඉල්ලා සිටිය ද, ඒ සඳහා සුදුසුකම් නො ලැබූ බැවින් ඇය මින් පෙර කිසි දිනෙක පැමිණ නොතිබූ රත්මලානේ පිහිටි ඇයගේ මිත්තණියගේ මහ ගෙදරට පැමිණෙන්නට තීරණය කර තිබුණි. ඊයේ දිනයේ මෙම සිංහවංශ මන්දිරය වෙත පැමිණි මොහොතේ යෝධ පිවිසුම අසල සිටගෙන ඇතුළට යම්දෝ, නැවත පැමිණි ත්‍රී රෝද රථයෙන් ම ගමට යම්දෝ යි කල්පනා කළ සාරා අද තරමක් දුරට නිවසට හුරු වී ඇත. මෙම මන්දිරය හැර මින් පසු ඇයට මේ මිහිපිට හව්හරණක් නොමැත. ඊයේ මෙහි පැමිණි පසු අම්මාට ගත් අවසන් ඇමතුමෙන් ඇය එය තහවුරු කරගත්තා ය. ඉදින් මෙම පරිසරයට සේම, තවමත් නෙතට නුපුරුදු විශ්ව විද්‍යාලයට ද හුරු වීම ම මිස අන් මඟක් නොමැති හෙයින් ම ඇය අද දිරිමත් සිතකින් යුක්ත වී සිටී.

එම උද්‍යෝගය හේතුවෙන් ම තනිව ම රත්මලානේ සිට විශ්ව විද්‍යාලය වෙත පැමිණීමටත්, ආරම්භක දේශන සියල්ලට ම සහභාගී වීමටත් සාරාට හැකි විය. සියල්ලට ම වඩා විනෝද කාමී මිතුරියන් පිරිසක් සහ කරුණාවන්ත ජේෂ්ඨ ශිෂ්‍යයන් පිරිසක් හමුවීම ඇයගේ හිතට සහනයකි.

🌼ඩැෆඩ්ල්🌼Where stories live. Discover now