"ඊළඟට මං ආ...දරෙන් තුරුලු කරගෙන..."
කියාගෙන ආ දෙය මඳකට නවතා වචන සේම සිනහව ද තද කරගෙන ඔහු කෙල්ලන් දෙදෙනා දෙස මොහොතක් බලා සිටින්නට විය. එම ඇසිල්ලට මෙතෙක් වෙලාවක් ආයාසයෙන් සිර කරගෙන සිටි සිනාවක් මුලින් ම පැන්නේ සීනියර් අක්කා කෙනෙකුගේ මුවිනි. ඉන්පසු සියලු ම සින්නන් එයට එකතු වූයේ අසරණ යුවතියන් දෙදෙනා දෙස ම බලාගෙන ය. එයින් ඔවුන් සෙල්ලම අත්හැර දැම්මා සේ විය.
"හරි හරි එහෙනම් පලයල්ලා දැන්. යන ගමන් ග්රවුන්ඩ් එක කෙළවරට වෙනකන් අත්පුඩි ගහ ගහ පලයල්ලා උඹලගේ කෙල්ලගේ අති විශිෂ්ට රංගනය වෙනුවෙන්"
එසේ පිරිසට විසිර යන්නට අවසර ලැබුණ ද, යන්නට සූදනම් වූ අය අතරේ වූ තවත් තිදෙනෙකු ඔහුට මඟ හැරී තිබුණි.
"ඒයි ඒයි තොපි තුන් දෙනා..."
යැයි පවසා ඔහු බැලුවේ සමාධි, පවනි සහ නිම්මි දෙස ය.
"තොපි තුන් දෙනාගෙන් එකෙක් වත් මට ආයේ තනියම ඉඳලා අහුවෙන්නෙපා හරී. යන යන තැන තුන්දෙනා එකට ම ඉන්න ඕනේ. බලමු එතකොටවත් යාලුවෙක්ට කරදරයක් උනාම කටවල් ඇරෙයි ද කියලා"
ඉතින් මෙම අහිංසක උත්සාහයන් පොඩි උන්ට යහ ගුණදම් උගන්වන්නට බව තමන්ට ම ඒත්තු ගන්වා ගන්නට ඔහු එය පවසන්නට ඇත. එය එසේම දැයි සිතෙන් ප්රශ්න කරමින් උගුලකින් නිදහස් වූ මුව පොව්වන් පිරිසක් සේ තරුණ තරුණියන් පිරිස විසිර යන්නට විය.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
එක් ප්රශ්නයකින් නිදහස් වුව ද සාරා ඉදිරියේ තවත් ප්රශ්නයක් පැන නැඟී ඇත. හවස් වරුව නොදැනී ම ගෙවී ගොස් රාත්රිය උදා වෙමින් පවතී. ඇය දැන් තනිවම නිවසට යා යුතු ය. ජීවිතයේ පළමු වතාවට කොළඹට පැමිණ සතියක් යන්නටත් මත්තෙන් ඇය මෙවන් රෑ බෝ වූ මොහොතක මෙසේ තනිව ම රත්මලානේ නිවස වෙත යන්නේ පළපුරුද්දකින් නොව, තව තවත් තමාව අසරණ වන්නට ඉඩ නොදෙන බවට සපථ කරගත් ගැහැණු ආත්මය සතු ච්ත්ත ශක්තිය නිසාම ය.
සිංහවංශ මන්දිරය වෙත දිවෙන අතුරු මාර්ගය පටන් ගන්නා තැනින් බසයෙන් බැස ගත් සාරා නිවස අසලට ළඟාවත් ම යතුරු පැදියක් ඇයගේ ඇඟේ ගෑවී නොගෑවී වේගයෙන් ඇයව පසු කර ඇදී ගියේ ඇයට දෙවියන් සිහි කරමිනි.

YOU ARE READING
🌼ඩැෆඩ්ල්🌼
Romansaපුංචි ම පුංචි කහ පාට මලකට පුළුවන් නම් හිත්පිත් නැති ශීත ඍතුවේදිත් වසන්තය ගැන ම හීන පොකුරු අහුලන්න