ආච්චි අම්මාගෙ මරණය එක්තරා ආකාරයට අප ජීවිත කනපිට හරවන්නට සමත් විය. මළගෙයත්, හත් දවසේ දානයටත් පසුව ඉතිරි වූයේ ගෙදර කිහිප දෙනා පමණි. දුර සිට පැමිණී නෑයින් සියල්ල ඊයෙ දානයෙන් පසු නික්ම ගියේ අප කිහිපදෙනා නිවසේ තනිකරමිනි. සතියක් තිස්සේ ම නිරන්තරයෙන් මිනිසුන් ගැවසුන අප ගෙදර පාලුවට ගොස් ඇත්තේ නිශ්ශබ්දතාව එහි රජයමිනි. ඉඳහිටක අඩි ශබ්දයක්, ඔරලෝසුවේ බට්ටා නිකුත් කරන සද්දයත්, හූනෙක් චු: චු: ගාන හඬත් ඇරුනුකොට වෙනත් සද්දයක් නැති තරම් ය. මිනිසුන් නොවෙසෙන ගෙයක් තරමට ම එය පාලුවට ගොස් ඇත.
අම්මා තවමත් සිටින්නේ අවසිහියෙනුයි මට සිතේ. ආච්චිඅම්මා අම්මා ට නැන්දම්මෙක් නොවූවා ය. ඉඳහිටක සිදුවන වචන හරඹයක් විනා ඔවුන් අතර කිසිඳු අඩ දබරයක් නොවීය. ආච්චිඅම්මා අම්මා ප්රිය කළ තරමට ම, අම්මා ආච්චිඅම්මා ව ප්රිය කළාය. ඔවුන් පැය 24 ම ගෙවා දැම්මේ එකට ය, ඕපාදූප කියෙව්වේ එකට ය, අල්ලපු ගෙවල් සමග වචන හුවමාරු වලට ගියේ එකට ය, මං ගැන ආඩපාලි කිව්වේද එකට ය. එනිසා අම්මාට ඇගේ වියෝ ව දරාගත නොහැකි වීම පුදුමයක් නොවේ. අම්මා හරියට කෑමක් බීමක් නොගනී. සාලේ කොණක හිඳගෙන සුසුම් ලෑම පමණක් කරයි.
තාත්තා නිශ්ශබ්ද ය. නමුත් වැඩිම වේදනාව ඇත්තේ ඔහුට බව මම දනිමි. ඒ ඔහුගේ මව ය. හැමදාමත් ආච්චිඅම්මා ට තාත්තා කුඩා දරුවෙක් විය. ඕ තාත්තා ට කැව්වාය, පෙව්වාය. අම්මා මට සලකන්නේ කෙසේද ඈ තාත්තා ට අවුරුදු පනහ පසුවුනු විටත් එලෙස ම සැලකුවා ය. ආච්චිඅම්මා නැන්දාටත්, බාප්පාටත් වඩා තාත්තා ට ආදරේ කළාදැයි මට විටෙක සිතේ. තාත්තා ද එසේම ය. ඊට ඔහුගේ රතු වුනු ඇස් සාක්ෂි දරයි.
අයියා ඊයේ ම වැඩට පිටත්විය. ඔහු වෛද්යවරයෙක් නිසා බොහෝ නිවාඩු ගත නොහැක. මළගෙදර කටයුතු බොහෝමයක් සිදුවූයේ අයියා අතිනි. අයියා ඉතාම සංවිධානාත්මක, බුද්ධිමත් මනුස්සයෙකු බව මට පසුගිය සතියේ පසක් විය. ඔහු ඉදිරියේ මට දැනෙන්නේ ළඳරුවෙකුගේ හැඟීමකි.
නංගී අම්මා ළඟ හිඳිමින් ඈ සනසන්නට උත්සාහ දරන්නීය. අම්මාට කවන්නට, පොවන්නට බල කරන්නීය. මළගෙදර බොහෝ වැඩ කටයුතු අයියා අතින් සිදුවූවත් පවුලේ උදවිය ගැන නිරන්තරයෙන් සොයා බැලුවේ නංගීයි. මන්ද අම්මාට හරි සිහියක් පතක් නොවීය. නංගීගේ දෑස් දුටුවිට ඇයද කෙතරම් මහන්සියකින් සිටින්නේදැයි මට වැටහේ. මට සියලුදෙනා ගැන සංවේගයක් දැනේ. ආච්චිඅම්මාගේ අගය දැනෙන්නේ දැන් ය. ඇය අපේ ජීවිතවලට කොතරම් බැඳී සිටියාදැයි තේරෙන්නේ දැන්ය.
YOU ARE READING
පාලුවේ සතුට (SINHALA BL NON-FIC)
Não Ficçãoවෙනදා වගේම සුවඳයි හිත මාරුතේට සැරසෙයි හැමදා වගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි..