කඩදාසි බෝට්ටුව 4

23 1 0
                                    

"යුරේ! යුරේ! තාම නැගිට්ටෙ නැද්ද මේ ළමයා?"

අම්මාගේ සද්දෙට මං නැඟිට්ටේ ලාවට රිදෙන ඔළුවත් අත ගා ගන්න ගමන්.

ඔව් ඉතින්... ඊයේ වෙච්ච විකාර ගැන කල්පනා කර කර ඇඳේ එහාට මෙහාට පෙරළි පෙරළි ඉඳලානේ නින්ද ගියේ. එතකොට වෙලාව නම් කීයද මන්දා.

"යුරේ! අද තාත්තටයි මටයි ගමනක් යන්න වෙලා තියනවා! මාමලගෙ ගෙදර යන්නේ.  එද්දි හවස් වෙයි. පරිස්සමට ඉන්න ඕනෙ හොද ද?" අම්මා දොර රෙද්ද මෑත් කරලා කාමරේට එබී ගෙන කිව්වා.

මං, “හරි අම්මේ!” කියලා උත්තර දීලා ආයෙත් පොඩ්ඩක් ඇඳේ පෙරළුණා.

කොච්චර කොහොම වුණත් දෙවනි නින්ද තමයි හොඳ ම!

"කෑම ටික හදලයි තියෙන්නේ. නොකා නොබී අපි එනකල් නිදා ගෙන එහෙම ඉන්න එපා. අදවත් පෑවොත් රෙදි ටික වේලෙන්න දාන්න. රෙදි බේසම දොර ගාවින් ම තිබ්බා. මතක ඇතුව එළියට යනව නම් එහා ගෙදර ජෙමී නැන්දට කතා කරන්න පොඩ්ඩක්. රෙදි දාන්න යනකොට දොර හායි ගාලා ඇරලා තියන්න එපා. රටේ ලොකේ ඔක්කොම හොරු ටික ගෙට එනකල් දොර ඇරන් ඉන්න එපා. ඇතුළට ඇවිල්ල මතක ඇතුව යතුර දාල දොර වහන්න. දොරත් ඇරන් නිදා ගන්න නම් එපා. මතක ඇතුව හවස් වෙද්දි ඇහැරලා ඉන්න, අපි ආව ම දොර අරින්න." අම්මා එහාට මෙහාට දුව දුව ලෑස්ති වෙන ගමන් මට සුපුරුදු උපදෙස් ටික දුන්නා.

"යුරේ!" අම්මා මගෙන් ප්‍රතිචාරයක් නැති තැන කාමරේට එහිලා කෑ ගැහුවා.

"යුරේ! නැගිටිනව ළමයො දැන්වත්! මං මෙච්චර කියෝනවා, මේ ළමය හොදට නිදි!" අම්මා මං මූණට උඩින් තියා ගෙන හිටිය කොට්ටේ අරන් ඒකෙන් ම මට හි මීට පාරක් ගහලා කිව්වා.

"ආ.. මොකක් ද?" මං ඇඳ උඩ ඉඳගෙන ඇස් පොඩි කර කර ඇහුවා.

"'මොකක් ජ?' තමා!" අම්මා ඇද කරලා කොට්ටය ඇද උඩට දමා ගසා යන්න හැරුණා.

මං ආයෙමත් නිදි කිරා වැටෙන්න පටන් ගන්න කොට ම අම්මා කන ගාවට ම ඇවිත් කෑ ගැහුවේ මව උඩ පන්නවමින්. “ඒයි! නැඟිටිනවා!”

මං ඒ පාර නම් ඇහැරිලා සාලෙට ගියා. නැත්නම් ඊගාවට කොයි විදියට ඇහැරවයි ද දන්නේ නෑනේ.
"ඔය සාලෙට යන්නෙ අර පුටුව උඩට වෙලා දරණෙ ගහන් ඉතුරු ටිකත් නිදා ගන්න ද?" අම්මා ඉණට අත් දෙක තියා ගෙන ඇහුවා.

“ආ..” මං නිදි මර ගාතේ ම බිත්තියට හේත්තුවක් දාලා කල්පනා කළේ අම්මා කොහොම ද ඒක දැන ගත්තේ කියලා.

“මේ! ආයේ ඔත්තු නිදා ගන්නේ නැතුව ගිහින් මූණ කට හෝද ගෙන එන්න.” අම්මා මාව නාන කාමරේ දොර දිහාට තල්ලු කර ගෙන ගියා.

මං නිකමට ටැප් එක ඇරලා වතුරට අත ඇල්ලුවා විතරයි මුළු ඇඟ ම වෙව්ලා යන්න තරම් සීතල.
හිත වෙනස් වෙන්න කලින් ටක් ගාලා මං මූණට වතුර දෝතක් ගසා ගත්තා. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට මූණ හෝද ගෙන තව එක තත්පරයක් එතන රැඳෙන්නේ නැතුව මං මූණ පිහදා ගන්න දිව්වා.

"අපි දැන් යනවා. කෑම හදලා තියෙන්නේ. අපි ගියාට පස්සෙ කන්න. පෑව්වොත් රෙදි වේලෙන්න දාන්නත් ඕනෙ. ඒ යද්දි එහා ගෙදර නැන්දට කතා කරන් යන්න. මතක ඇතුව යද්දි දොරත් වහන්න, ඔහේ ඇරල දාල යන්නෙ නැතුව." අම්මා ආයෙත් පාරක් උපදෙස් දෙන්න පටන් ගත්තා.

"හරි, හරි, අම්මේ! ඔයා ඉතින් ඔය කියන්නෙ හැමදාම කියන ටිකමනේ! බය වෙන්න එපා! මං පරිස්සමට ඉන්නම්." මං හිනා වේ ගෙන කිව්වා.

"ඔයාට හැමදාම කිව්වත් වැඩක් නෑනේ, යුරේ! නැද්ද ට්‍රිස්?" තාත්තා කාරයට ගොඩ වෙන ගමන් කිව්වා.

"එහෙනන් දූ පරිස්සමට ඉන්න! අපි ගියා!" තාත්තා හිනා වෙන ගමන් ම කාර් එක පණ ගැන්වුවා.

"හරි තාත්තේ! ඔයාලත් පරිස්සමට ගිහින් එන්න!" මාත් හිනා වෙන ගමන් ම කියලා අම්මලාට අත වැනුවා.

අම්මයි තාත්තයි නොපෙනී යනකල් ම උළුවස්සට හේත්තු වෙලා බලන් හිටපු මං එයාලා ගියාට පස්සේ ගේ ඇතුළට ගිහින් දොර අගුලු දාලා වහ ගත්තා.

ඊළඟට මගේ රාජකාරිය වුණේ කන්න මොනව ද තියෙන්නේ කියලා හොයලා බලන එක.

මං එහෙමම කුස්සියට ගිහින් අම්මා උදේ උයලා ලිප උඩ ම තියලා ගිහින් තිබ්බ වළන් ඇරලා බැලුවා.

හීනියට ලියූ එළවලු, බිත්තර දමා සාදා තිබූ කහ පැහැයෙන් දිස් වන නූඩ්ල්ස්...

ඒත්, මේ නූඩ්ල්ස් අද වෙනදා වගේ මගේ කට තෙත් කරන්න සමත් වුණේ නම් නෑ.

ඒකට හේතුවත් ඉතින් අර ඊයේ දවස පුරා වෙච්ච එක එක විකාර තමයි.
වහපු කාමරේ...

මට තියනව කියපු ලෙඩේ...

අර මගේ අත කැඩිච්ච පින්තූරේ...

අනිත් පින්තූරේ තිබ්බ මොකක්දෝ අඩුව...

ඒක නම් නීනා නැති අඩුව කියමුකෝ!

අර අමුතු හීනේ...

කැඩිච්ච පොත...

අර වහපු කාමරෙන් තමයි මේ හැම විකාරයක් ම පටන් ගත්තේ.

'අද අම්මලත් ගෙදර නෑ! කොහොම හරි අර කාමරේට යා ගන්න ඕනෙ. අද නැත්නම් ආයෙ කවදාවත් යන්න වෙන්නෙ නෑ.' මං හිතුවා.

“ඒත් ඔය ඔක්කොට ම ඉස්සෙල්ලා කාල ඉන්න ඕනේ!” මං විකාර විදියකට රඟ පාන ගමන් කිව්වා.

ඉතින් මං මුනින් අතට නවා තිබූ පිගානත්, හැදි රදවනයේ දමා තිබූ හැන්දකුත්  මේසය උඩ තිබූ සර්වියට් එකෙන් යන්තම් පිස දා ගෙන නූඩ්ල්ස් හැදි දෙකක් බෙදා ගත්තා.

පිගානත් උස්සා ගෙන කන ගමන් ම වසා දමා තිබූ කාමරය දිහාට ගියේ මගේ 'මෙහෙයුමේ' පළමු පියවර තියන්න.

මං ඒ කාමරේ දොරේ යතුරු හිල දිහා හොඳට බලලා ඒකේ හැඩෙයි ප්‍රමාණෙයි හිතෙන් මැන ගත්තා.

ඒ තරම් උවමනාවෙන් මගෙන් හංගන මේ කාමරයේ යතුර හොදින් පෙනෙන තැනක නම් තියන්නේ නැති බව මං හොඳට ම දන්නවා.

ඒත් ඉතින් මං නිකමට වාගේ ගෙදර යතුරු එල්ලන පුවරුව දිහාට ඇහැ දාලා ම බැලුවා.

ඔව්.

මං සිතුවා හරි.
යතුරු පුවරුවේ එක් යතුරක් අඩු යි!

කඩදාසි බෝට්ටුව Where stories live. Discover now