කඩදාසි බෝට්ටුව 1

67 9 1
                                    


යුරේලියාගේ නිවස තුළ යුරේලියාත්, නීනාත් යුරේලියාගේ කුඩා කාලයේ ඡායාරූප බලමින් සිටියහ.


"යුරේ, මේ මොකද මේ ඔයාගේ අතට වෙලා තියෙන්නේ?" නීනා එක් සේයාරුවක් පෙන්වමින් විමසුවා ය.


යුරේලියා එය අතට ගත්තා ය.


එම ඡායාරූපයේ යුරේලියා තම වම් අත ගෙලේ එල්ලා ගෙන සිටියා ය. ඈ දෙපස මවත් පියාත් කැමරාවට සිනා වීගෙන සිටියහ. පුංචි යුරේලියා නම් වේදනාවෙන් සිටින බව හඟවමින් ඇගේ මුව බැරි වී තිබුණි.


"අනේ මන්දා! මේ අපේ මොන්ටිසෝරිය නේද?" යුරේලියා ඡායාරූපයේ පසුබිම හදුනා ගනිමින් විමසුවා ය.


"ඒකනේ! මට මතක නෑනේ ඔයා ඒ කාලේ අත කඩා ගෙන හිටියා කියලා?" නීනා යුරේලියා දෙස බලමින් පැවසුවා ය.


"ඒක තමයි. මට මතකත් නෑ! අම්මට මතක ද දන්නේ නෑ මේ මොකද වෙලා තියෙන්නේ කියලා." යුරේලියා පැවසුවා ය.


"අම්මේ....." යුරේලියා ඡායාරූපය ඇල්බමයෙන් ගලවා ගෙන කෑ ගසමින් දිව ගියාය.


"මොකද යුරේ කෑ ගහ ගෙන දුවන්නේ?" කුස්සියේ සිට සාලය දෙසට එමින් සිටි අම්මා යුරේලියාගේ ඇගේ වැදී නොවැටී බේරුණේ අනූ නවයෙනි.


"අම්මේ, ඔයාට මේ පින්තූරේ මතක ද?" යුරේලියා තම අතේ වූ සේයාරුව මවට පෙන්වූවා ය.


"ඉන්නකෝ බලන්න." අම්මා සාලයේ මේසය මත වූ තම උපැස් යුවල පැළැද ගෙන ඡායාරූපය අතට ගත්තා ය. "ම්ම්... මේක නම් එච්චර මතක නෑ. ඔයාලගේ මොන්ටිසෝරියේ මොනව හරි එකකට ගිය වෙලාවක ගන්න ඇත්තේ."


"ඕකේ මගේ අතට මොක්ද වෙලා තියෙන්නේ අම්මේ? මං අත කඩා ගෙන හිටිය ද ඒ කාලේ?" යුරේලියා ඡායාරූපයේ එල්ලා ගෙන සිටින අත පෙන්වමින් විමසුවා ය.


"නෑ! ඔයා චූටි කාලේ මූණ හෝදන්න එපා කියලා ගේ වටේ දුවලා ඔළුව නම් පලා ගත්තා! ඒත් අතට නම් මොකුත් වුණේ නෑ!" අම්මා සේයාරුව නැවත යුරේලියා අතට දී සිනා සෙමින් පැවසුවා ය.


"ඊයා! ඒ කාලෙත් දැන් වගේ ම ඇති! දැනුත් නාන්නේ එහෙම නෑ නේද නැන්දේ?" පසෙක හුන් නීනා සිනා සෙන්නට වූවා ය.


"යනව හලෝ! ඔයා තමා නාන්නේ නැත්තේ! මං මේ කල්පනා කළේ මේ අතට මොකද වෙලා තියෙන්නේ කියලා!' යුරේලියා ලැජ්ජාව වසා ගැනීමට මෙන් එසේ පවසා ඡායාරූපය උදුරා ගත්තා ය.


"ඔය මොකක් හරි විකට ඇදුම් තරගෙකට වගේ ඉන්න ඔහොම ඇද ගෙන යන්න ඇති! එහෙම නැතුව ඔයාගේ අත කැඩුණේ නෑ යුරේ." අම්මා උපැස් යුවල ගලවා කණ්ණාඩි පෙට්ටිය තුළ එය තැන්පත් කරමින් පැවසුවා ය.


"ඒ වුණාට බලන්නකෝ අප්පා මූණේ හැටි! නිකන් ඇත්තට ම අත කැඩිලා වගේනේ ඉන්නේ!" යුරේලියා චායාරූපය දෙස බලා ගෙන පැවසුවා ය.


"ඒ උපන් කැත! බලන්නකෝ දැන් කියලත් මහ වෙනසක් තියනව ද? නිකන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ! හැබැයි ඒකටවත් ගනී ද දන්නේ නෑ!" නීනා යුරේලියාව විහිළුවකට ගමින් පැවසුවා ය.


යුරේලියා නීනාට රවා සේයාරුව ඇල්බමයේ තැන්පත් කරන්නට වූවා ය.

කඩදාසි බෝට්ටුව Where stories live. Discover now