'මේ කාමරේ කවදා ඉදල ද වහලා තියෙන්නේ?' මගේ කාමරේට ඉස්සරහ කාමරේ වහලා තියෙනවා කියලා මං දැක්කේ දැන් කිව්වොත් විශ්වාස කරන්න පුළුවන් ද? ඒ ඔක්කොට ම හපන් මට එහෙම කාමරයක් තිබුණා කියලාවත් මතක නැති එක!
මං එතකොට මෙච්චර කල් හිටියේ මේ ගෙදර නෙවෙයි ද? මගේ ම ගෙදර තියන කාමරයක් තියනව ද නැද්ද කියලවත් දන්නේ නැති වෙන්න තරම් මං අසිහියෙන් ද මෙච්චර කල් හිටියේ?
“යුරේලියා! කොහේ ද ඔය බලා ගෙන ඉන්නේ?” ඒ කාමරේ දොර දිහා බලා ගෙන කල්පනා කර කර හිටපු මං අම්මා කතා කරපු සද්දේට ගැස්සිලා ගියා.
"ආ අම්මේ! ඔයා කතා කළා ද?"
"කතා කළාදත් අහනවා! මං කී සැරයක් කතා කළා ද? මොන ලෝකේ ද ළමයෝ හිටියේ?" අම්මා කුස්සියේ කෑම හදන ගමන් කිව්වා.
"අම්මේ? මේ කාමරේ මොකක් ද? ඇයි ඒක වහලා?" මං අම්මාගෙන් ඇහුවා.
අම්මා උය උයා හිටපු එකත් දාලා, ඉණ වටේ බැද ගෙන හිටපු රෙදි කෑල්ලේ අත් දෙක පිහදා ගන්න ගමන් අඩියට දෙකට මගේ ළගට දුව ගෙන ආවා. "ඔයා හොදින් ද දරුවෝ?" අම්මා උණ බලන්න වගේ මගේ නළල උඩින් පිටි අත්ල තියා ගෙන මගේ මූණට එබිලා හෙමිහිට ඇහුවා.
අම්මා ඒ අහපු ප්රශ්නේට මාව තවත් හොල්මන් වෙලා ගියා. මේ යස අපූරුවට ඉන්න මගෙන් හොදෛන් ද කියලා අහන්නේ ඇයි? අම්මා මට පිස්සු හැදිලා කියලා හිතුව ද දන්නේ නෑ, මෙච්චර කල් ගෙදර තිබ්බ කාමරයක් ගැන දැන් දැක්කා වගේ අහන හින්දා.
"නෑ! මට මොකුත් අවුලක් නෑ!" මං අම්මාගේ අත නළල උඩින් අයින් කරන ගමන් කිව්වා. "ඇයි එහෙම ඇහුවේ?"
"නෑ! මොකුත් නෑ!" අම්මා සැනසුම් සුසුමක් හෙළන ගමන් අහක බලා ගෙන උත්තර දුන්නා.
"කෝ ඉතින් ඔයා තාම කිව්වේ නෑනේ මේ කාමරේ මොකක් ද කියලා?"
"ඕක ද? ඕක දැන් සෑහෙන කාලෙක ඉදන් වහලා තියෙන්නේ. ඉස්සර ඕක ගබඩා කාමරේ විදියට පාවිච්චි කළා! ඒත් දැන් ඒකේ යතුර නැථි වෙලා!" අම්මා මගේ බැල්ම මග අරිමින් කිව්වා.
"ඉතින් එහෙනම් දොරේ අගුල වෙනස් කර ගන්න එපැයි! යතුර නෑ කියලා කාමරේ වහලා දාල හරියනව ද?" මං අම්මා දිහා බලා ගෙන ම ඇහුවා. "ඔයා බොරු නෙද කියන්නේ?"
"මං? මං මොකට ද බොරු කියන්නේ?" අම්මා මහ අස්වාභාවික හිනාවකුත් දා ගෙන කිව්වේ හරියට එයා ඇථ්තට ම බොරුවක් කිව්වා වගේ.
මං අම්මා දිහා සැකෙන් බැලුවා.
මං ඒ කාමරේ ගැන ආයේ අහන්න යනකොට ම තාත්තා කොහේදෝ ඉදලා මතු වුණා. "යුරේ... අද පන්ති යන්නේ නැද්ද? ඉකමනට එන්න! පන්ති යන්න පරක්කු වෙනවා!"
"ආහ්!" මං කාමරේට දුවලා ටක් ගාලා අතට අහු වුණු ඇදුමක් ඇගට දා ගත්තා. ඊළගට ඔළුව පීරන ගමන් මං කල්පනා කළේ අද පන්තියේ පොත් ටික ඇත්තේ කොහේද කියලා.
අද මොකක් ද තියන පන්තිය? මට මතක නෑනේ! ඔක්කොට ම ඉස්සෙල්ලා අද කවද්ද? සෙනසුරාදා ද? ඉරිදා ද?
"මොනව ද ළමයෝ මෙච්චර වෙලා කරන්නේ? ඉකමනට එන්න! නැත්නම් පරක්කු වෙලා ගිහින් මිස් ඊඩිත්ගෙන් බැණුම් අහන්න වෙයි!" තාත්තා සාලේ ඉදලා කෑ ගැහුවා.
ඒ කියන්නේ අද තියෙන්නේ ඉංග්රීසි පන්ති! අද සෙනසුරාදා!
මං ටක් ගාලා මේසය උඩ තියන පොත් ගොඩ අවුස්සලා ඉංග්රීසි පොත් ටික හොයා ගත්තා. ඒ ටික පුටුව උඩ දාලා තිබ්බ බෑඝ් එකට ඔබා ගන්න ගමන් මං තාත්තට උත්තර දුන්නා. "මං මේ එන ගමන්!"
●●●●●●●●●
"යුරේ! ඉතින් කොහොම ද දැන්?" මං පන්තියට අඩිය තියන කොට ම අන්තිම පේළියට පේළි තුනක් ඉස්සරහින් ඉද ගෙන හිටිය නීනා මගේ දිහාට අත් දෙක දික් කරලා ඇහුවා.
"මට ඉතින් මොනා වෙන්න ද? මං හොද සෞඛ්ය සම්පන්න ළමයනේ!" මං හිනා වී ගෙන නීනාට එහා පැත්තෙන් මගේ බෑගි එක බංකුව උඩට අතෑරියා.
නීනා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා. මං එයාගේ ඇස් ඉස්සරහින් අතක් වනලා එයාට කතා කළා.
"ආ මෙන්න පොත. ගිය සතියේ ටික මිස් එන්න කලින් ඉක්මනට ලියා ගන්න." එයා එයාගේ පොත මට දික් කළා.
දැන් ඉතින් ඒක ලියන්න! මං සුසුමක් හෙළුවා.
පිටු 5ක්! ඒකත් නීනාගේ කූබි කකුල් වගේ අකුරුවලින්! දෙයියනේ! ගිය සතියේ මිස් මෙච්චර ලියෙව්ව ද? මං මොකට ගිය සතියේ නෑවිත් හිටිය ද මන්දා! පොඩ්ඩක් ඉන්න! මං ඇත්තට ම ඇයි ගිය සතියේ ආවේ නැත්තේ? මට මතක නෑනේ!
"පිටු පෙරළ පෙරළා හිටියට ලියන්න තියන ටික ඉබේ ලිය වෙන්නේ නෑ! ඕක ඉක්මනට ලියා ගන්න! පැය බාගයයි තියෙන්නේ!" නීනා පොත උඩින් අතක් තියලා කිව්වා.
"හ්ම්!" මොනා කරන්න ද ලියන්න ම වෙනවනේ. මං පෑන අතට අර ගෙන කාලයට එරෙහි ව මහා ලිවීමේ සංග්රාමය පටන් ගත්තා.
"ඒක නෙවෙයි නීනා! අපේ ගෙදර තිඅයන් කාමරයක් මට මෙච්චර කල් තිබ්බා කියලා මතක නෑනේ!" මං ලියන ගමන් නීනාට කිව්වා.
එයා ටක් ගාලා මගේ පැත්තට හැරිලා කතාව අහන්න ලෑස්ති වුණා. "කොතන තියන එක ද?"
"ඒක තියෙන්නේත් මගේ කාමරේට ඉස්සරහමයි. ඒ මදිවට ඒකේ දොර වහලා! මට එහෙම එකක් තිබ්බ ද කියලවත් මතක නෑනේ!"
"ඒක කලිනුත් තියෙන්නෙ ඇති! ඔයාගේ සිහිය තමයි!" නීනා කිව්වා.
"මං ඒ ගැන අම්මගෙන් ඇහුව ම එයා කිව්වේ ඒ ගබඩා කාමරයක් කියලා. ඒකෙ යතුර නැති වෙලාලු."
"වෙන්න ඇති ඉතින්!" නීනා ඉස්සරහ බලා ගෙන කිව්වා.
"ඒත් මට නම් හිතෙන්නෙ ම එයා කිව්වේ බොරු කියලා!"
"දැන් කොයි හරිය ද ලියන්නේ?" නීනා මගේ පොතට එබිලා ඇහුවේ එයාට ඒ කාමරේ ගැන දැන ගන්න ඕනේ නැ වගේ.
මොනවා වෙලා ද මන්දා! වෙනදට නම් ඔහොම දෙයක් කිව්වා ම පැනලා අහන්නේ ඒ ගැන විස්තර.
"තව තියනවා." මං නීනාගේ පොතේ ඉස්සරහට තියන පිටු ටික පෙරළුවා. "අහන්නකෝ ඉතින් අර කාමරේ ගැන! මං අද නිකමට ඒක ඇරලා බලන්නත් හැදුවා!"
"ඉතින් ගියා ද?" ඒ පාර නම් ඔන්න නීනාට ඒ ගැන දැන ගන්න් ඕනේ වෙලා!
"නෑ හලෝ! එතකොට තමයි තාත්තා මතක් කලේ අද පන්තිය. නැත්නම් තව පොඩ්ඩෙන් අද එන්න වෙන්නේත් නෑ!"
"ඒ කාමරේ යතුර නැති වෙලා නම් ඒකට යන්න බෑනේ. ඔයා ඒ ගැන හිත හිතා ඉන්නෙ නැතුව ඕක ලියා ගන්න!" නීනා එයාගේ බෑග් එකෙන් පොතක් එළියට ගන්න ගමන් කිව්වා.
"ඒ වුණාට මං කොහොම හරි ඒකට යනවා! ජනේලෙකින් පැනලා හරි!" මං ස්ථිර ව කිව්වා.
"විකාර කරන්න එපා යුරේ!" නීනා මං දිහා බලලා කිව්වා.
"නීනා! ඔයාට ඇත්තට ම මොකද වෙලා තියෙන්නේ? වෙනදට නම් ඔයානේ ඒ කාමරේට යන්න මුලින් ම දගලන්නේ!" මං ලියන එකත් ටිකකට නවත්තලා ඇහුවා.
"මට නම් මොකුත් වෙලා නෑ! ඒත් ඒක වහලා නම්, ඒකෙ යතුරත් නැත්නම් බොරුවට ඒකට යන්න දගලන්නේ මොකට ද?" නීනා ආයේමත් කිව්වා.
"ඔයාට නම් මොනව ම හරි වෙලා තියනවා!"
"ඔයාට තමා අද මිස්ගෙන් බැනුම් අහන්න වෙන්නේ, ඔයා ඔය ටික ලියා ගත්තේ නැත්නම්!" නීනා පොත ඔළුවෙන් පෙන්නුවා.
"හරි ඉතින් ලියන ගමන් කතා කරන්න පුළුවන්නේ!"මං ආයේමත් ලියන්න පටන් ගත්තා.
"තව විනාඩි පහයි!" නීනා ඔරලෝසුව දිහා බලා ගෙන අනතුරු ඇගෙව්වා.
මං ඉතින් කට පියා ගෙන පොතේ ඔළුව ඔබා ගෙන, ලියා ගෙන ලියා ගෙන යන්න පටන් ගත්තා.
"මිස් ඇවිත් ද නීනා?" මං අන්තිම පිටුවට පෙරළන ගමන් ඇහුවේ උරහිසට උඩින් එබිලා බලන්න තරම්වත් වෙලාව නාස්ති කරන්න බැරි හින්දා.
"තාම නම් නෑ! ඒත් එයා ගානට නවය වෙද්දි ම මෙතනට සැපත් වෙයි!" නීනා කිව්වා.
දැන් නම් අත කැඩෙන්න වගේ! ඇයි දෙයියනේ පිටු පහක් විනාඩි දහයෙන් ලියන්නේ කොහොම ද?
"ඔන්න මිස් එනවා!" නීනා පිටිපස්ස බලලා කිව්වා.
"අවුලක් නෑ! මේ අන්තිම වාක්ය. මිස් පන්තියට එද්දී ලියලා ඉවර කරන්න පුළුවන්!" මං ලිය ලිය හිටිය පොත බාගෙට වහන ගමන් කිව්වා.
"ඔන්න ඉවරයි!" මං පොත වහලා ඉක්මනට පැත්තකින් තිබා.
මිස් ඇතුළට එන කොට ම බෑග් එකෙන් අච්චු පොත ඇදලා ගත්තා.
"මොකක් ද ඒ වැටුණේ?" නීනා මගේ බෑග් එකෙන් වැටිච්ච මොකක්දෝ එකක් දැකලා ඇහුවා.
"දන්නේ නෑ! පස්සේ ඇහිද ගන්න බැරියැ!" මිස් එනකොට පන්තියේ හැමෝමත් එක්ක මං නැගිටින ගමන් නීනාට ඇහෙන්න මිමිණුවා.
“Good morning children!” "මිස් ඊඩිත් ඩෙස් පේළි අතරින් ඉස්සරහට එන ගමන් සුබ පැතුවා.
එයා එහෙම නෙවෙයි කොහොම සුබ පැතුවත් තව ටිකකින් කවුරු හරි ළමයෙක්ගෙන් පටන් අරන් මුලු පන්තිය ම බැනුම් අහන එක නම් ස්ථිරයි!
“Good morning miss!” ළමයි හැමෝමා එකා වන් ව හයියෙන් හඩ නගලා සුබ පැතුවා. නැත්නම් ඒකටත් බැනුම් අහන්න වෙනවානේ!
“Yurelia!” මිස් මං හිටිය ඩෙස් එක ගාව නැවතිලා කතා කළා.
ඉවරයි! දැන් ඉතින් ගිය සතියේ ආවෙ නැති එක ගැන හොද දේශනයක් අහ ගන්න පුළුවන්! මං ඇස් දෙකත් තද කරලා වහ ගත්තා. නෑ, බයකට එහෙම නෙවෙයි!
මං සුස්මක් හෙළලා ඇස් දෙකත් ඇර ගෙන මිස් දිහාට හැරුණේ බැනුම් අහන්න මගේ කන් දෙකත් සූදානම් කර ගන්න ගමන්.
"දරුවෝ, දැන් ප්රශ්නයක් නෑ නේද? තාත්තා මට විස්තරේ කිව්වා!" මිස් මගේ දිහට හැරිලා ලස්සන හිනාවකුත් දා ගෙන කිව්වා.
හෑ!
මේ මොකද මේ?
මං වගේ ම අනික් ළමයිනුත් ඔක්කොම ඇස් ලොකු කරන් කටවල් ඇර ගෙන බලන් ඉන්නවා.
"මොකක් ද මිස්?" මං අන්තිමේ දී කට ඇරියා.
"ආ! ප්රශ්නයක් නෑනේ එහෙනම්! කලින් සතියේ පාඩම බලා ගත්තා ද?" මිස් ආයෙමත් සුපුරුදු විදියට ඇහුවේ මගේ වැරැද්දක් අල්ලා ගන්න හදන ගමන් වගේ
එහෙනම් ඉස්සෙල්ලා වෙච්ච දේ මං හිතේ මවා ගන්න ඇති!
"ඔව් මිස්. මං ලියා ගත්තා!" මං කිව්වා.
"නීනා! ඔය පොත් සේරම මේසේ උඩ වනා ගෙන මොකද කරන්නේ?" මිස් ඊළග ප්රශ්නේ නීනාට යොමු කළා.
"මිස්..." නීනා ගොතයකුත් එක්ක පටන් ගත්තා. "මිස්... මං මේ යුරේලියාට ගිය සතියේ පාඩම පොඩ්ඩක් කියා දුන්නා!"
මොකක්! ඒ කොයි වෙලේ ද? මං ඇස් දෙකත් ලොකු කරලා ඇහි බැමක් උස්සලා නීනා දිහා බැලුවා.
නීනාත් මගේ දිහා ඇහි බැමක් උස්සලා බැලුවා.
“That is good! යුරේලියා? තේරුණා ද පාඩම?" මිස් මගේ දිහා බලලා ඇහුවා.
දැන් මං මොකක් ද කියන්නේ? මට කියා දුන්නේ නැති පාඩම තේරුණා කියන්න ද? බැරි වෙලාවත් ප්රශ්නයක් ඇහුවොත් කාට කියන්න ද? "ටිකක් තේරුනා මිස්!" මං වෙලාවේ හැටියට දෙන්න තියන හොද ම උත්තරේ දුන්නා.
"අදට විතරක් මං ආයේ ගිය සතියේ පාඩමත් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ!" මිස් ඉස්සරහට යන ගමන් කිව්වා.
අද නම් මිස් නැගිටලා තියෙන්නේ වැරදි පැත්තෙන් ද කොහේද?
"එහෙනම් හැමෝම පොඩ්ඩක් කලින් දවසෙ note එක පෙරල ගන්න. අපි එදා කළේ if condition එක use කරන හැටිනේ. මේකේ types තුනක් තියනවා. හොදයි, type 1 එකට example sentence එකක් කියන්නකො බලන්න, නීනා!"
"අ..ම්ම්.."
"ඔයා ඔහොම ගොත ගගහ කොහොම ද මේ ළමයට කියා දුන්නේ? කමක් නෑ කියන්නකො බලන්න!"
"If anyone eat my chocolate, I will kill that person!" නීනා එකපාරට ම කිව්වේ මුළු පන්තිය ම හිනස්සවලා.
"ඇත්ත කතාව හැබැයි! මෙහෙම කිව්ව නම් ඊට වඩා හොදයි, 'if anyone eat my chocolate, that person will die of diarrhoea!'." මං නීනාට ඇහෙන්න මිමිණුවේ හිනාව තද කර ගෙන.
කල්පයක් වගේ දැණුනු පැය තුනකට පස්සේ පන්තිය ඉවර වුනා.
මිස් ගෙදර වැඩ ටිකකුත් දීලා පන්තියෙන් එළියට ගියේ හදිස්සිකාර ළමයි එකිනෙකා පන්තියෙන් එළියට පැන ගන්න කොට. නීනායි මායි ඉන්න තැන ම හිට ගෙන බෑග් අස් කරන්න පටන් ගත්තා.
නීනා බිමට නැවුනේ එයාගේ පෑනක් ද කොහේදෝ අහුලා ගන්න. "ඔයා ඔය නැමුණු එකේ අර ඉස්සෙල්ලා වැටුණු එකත් ඇහිදින්න හොදේ!" මං පොඩි හිනාවකුත් දාලා කිව්වා.
"හ්ම්." එයා ඒක මොකක් ද කියලා බලන ගමන් ම ඔළුව ඉස්සුවා. "මේ කොයි කාලේ එකක් ද?"
"කෝ? මොකක් ද?" මං ඒකට එබුණා.
ඒ අපේ ගෙදර කට්ටිය එකට ඉදලා ගත්ත පොටෝ එකක්. වෙන එකක් තියා මගේ ටෙඩියෙකුත් ඉන්නවා. එයා නම් සෑහෙන්න මගේ වද හිංසා වලට ලක් වෙලා වගේ පෙනුමක් තිබ්බා.
"පොඩ්ඩක් ඉන්න! ඒකේ මොකක් හරි අවුලක් තියනවා." මං ඒක උදුරලා ගත්තා.
"මොකක් ද හලෝ කරන්නේ? කලබල කරපු පාර මං තව පොඩ්ඩෙන් බිම!" නීනා රවා ගෙන කිව්වා.
මං එයාව ගනන් ගන්න ගියේ නෑ. ඒ පොටෝ එකේ ඇත්තට ම මොකක් හරි අඩුවක් තියනවා. මං ඒකට එබිලා ඒ අවුල හොයන්න උත්සාහ කළා.
"කෝ බලන්න!" නීනාත් ඒකට ඔළුව දැම්මා. "මේ ඉන්නේ අම්මයි තාත්තයි මැද්දේ ඔයා යස අගේට! මොකක් ද අවුල?"
"අනේ මන්දා! මොකක් ද අඩුවක් තියනවා." මං කල්පනා කරකර කිව්වා.
"මං නැති එකේ අඩුව තමා!" නීනා එයාගේ පොත්පත් ටික බෑග් එකට ඔබා ගන්න ගමන් කිව්වා.
"කියන්නත් බෑ! පොඩි කාලේ ඉදලා මගේ හැම දේක ම කොහේ හරි ගෑවිලා හරි ඔයාත් ඉන්නවානේ!" මං කිව්වේ ඇත්තට ම අවුල ඒක ද කියලා හිතන ගමන්.
"ඒක තමයි අවුල! මගේ නංගී ඔයා! ඔයාගේ අක්කා මංනේ!" නීනා කිව්වේ අපි දෙන්නාගේ පොඩි කාලේ පොරොන්දුවක් මතක් කරන ගමන්.
මට තාම මතකයි අපි දෙන්නා මුලින් ම හම්බුණු දවස්වල නීනාගේ අම්මාට තව ළමයෙක් හම්බෙන්න හිටියා. ඒ බබාට නීනා හරි ම ආදරෙන් හිටියේ. ඒත් ඒ බබා ඉපදෙනකොටත් හිටියේ මැරිලා. ඊට පස්සේ අපි දෙන්නා අපි දෙන්නගේ සහෝදරියෝ වෙන්න පොරොන්දු වුණා.
ඉතින් එයා කිව්වත් වගේ මට දැණුනු අඩුව නීනාගේ අඩුව වෙන්න ඇති කියලා මං හිතුවා.
"ඔය ඒකට යටින් තව එකක් තියනව නේද?" නීනා මගේ අතේ තිබ්බ පින්තූරේ පෙන්නලා ඇහුවා.
ඔව්මයි. ඊට යටින් තව පොටෝ එකක් ඇලිලා වගේ තියනවා. මං ඒක උඩට ගත්තා.
"ඔය අර එදාත් හම්බුණු එක නේද?" නීනා ඒක බලලා කිව්වා.
"හ්ම්!" මං කිව්වේ ඒ පින්තූරේ ඉදන් මගේ දිහා වේදනාත්මක බැල්මෙන් බලා ගෙන ඉන්න පුංචි මං දිහා බලා ගෙන. "මේක නම් හලෝ විකට ඇදුම් තරගෙකට ගිහින් වෙන්න බෑ! බලන්නකෝ. නිකන් අඩන්න ඔන්න මෙන්න වගේ!"
"හොදට බලන්න! කූඹි ගුලක් උඩ හිට ගෙන ඉන්නවා ඇත්තේ ෂුවර් එකට!" නීනා බෑග් එක කරේ එල්ල ගන්න ගමන් කිව්වා.
"නෑ හලෝ! බලන්නකෝ. පොඩි එකෙක්ගේ විකට ඇදුම් තරගෙකට මෙච්චර හොදට අත ඔතලා කරලා තියනව ද? මේක නිකම් ඇත්ත ම එකක් වගේනේ." මං ඒකේ ඔතලා තිබ්බ අත පෙන්නලා කිව්වා. “ඕනෙ ම නම් නිකම් බැන්ඩේජ් රෙද්දකින් ඔතයි. ඒත් මෙච්චර හොදට?"
"මට සහෝදර සහෝදරියෙක් හිටියා වෙන්න බැයි ද?" මං එක පාරට ම මගේ හිතට ආපු දේ කිව්වා. "එහෙම ඉදලා එයා එක්ක රණ්ඩු වෙලා මගේ අත කැඩුණා වෙන්න බැයි ද?"
"පිස්සු හැදිල ද යුරේ?" නීනා මගේ දිහා හොදට බලන ගම්න ඇහුවේ බොහො ම බැරෑරුම් විදියට. ඒක දැකලා මට හිනා යන්න ආවත් මං ඒක හංග ගෙන කතාව ගෙතුවා.
"පිස්සු නෙවෙයි! හිතන්නකෝ! ඊට පස්සේ දැන් එයා මැරිලා වෙන්න බැයි ද? මට කොහොමත් පොඩි කාලේ ගැන වැඩි දෙයක් මතක නෑනේ! අම්මලාත් දුකට එයා ගැන මගෙන් හංගනවා ඇති!”
"මේ! ඔයාට මොන කාලෙකවත් කවුරුත් හිටියේ නෑනේ! මටත් නෑ! අපි දෙන්නනේ අපි දෙන්නගේ අක්කයි නංගියි!" නීනා කිව්වා.
මං එයා දිහා බැලුවා.
මං හිතුවා හරි. එයාට තාම එයාගේ ම මල්ලිව මතකයි. එයාගේ ඇස් දෙක යන්තමට තෙත් වෙලා තිබ්බා.
“එහෙනම් ඔයා තමයි මගේ අත කඩන්න ඇත්තේ! දැන් මෙතන මොකුත් දන්නේ නැති බබා වෙනවා!" මං එයාගේ සිතුවිලි වෙන පැත්තකට හරවන්න හිතා ගෙන කිව්වා.
"මේ! මේ! මේ කොහෙවත් හිටිය මාව ඔයාගේ විකට ඇදුම් තරගෙට අල්ල ගන්න එපා! හරි ද?" නීනා බෑග් එක උරහිසේ එල්ලා ගත්තා.
"මේ! ඕක දිහා බලා ගෙන භාවනා කරන්නේ නැතුව ඕක දා ගෙන එන්න යන්න. අපි දෙන්නා විතරයි මුළු පන්තියේ ම ඉන්නේ!" නීනා එක පාරට ම වටපිට බලලා කිව්වේ මගේ පිටටත් එකක් ගහලා.
"හ්ම්, හ්ම්. එන්නම්. ඕකට ගහන්න ඕනෙ නෑනේ." මං පොටෝ එක බෑග් එකේ ඉස්සරහ සාක්කුවට ඔබා ගෙන බෑග් එක උරහිසේ එල්ලා ගන්න ගමන් කිව්වා.
![](https://img.wattpad.com/cover/315719128-288-k804216.jpg)