රාත්‍රිය එළැඹිණි.
එහෙත් ඒ වූකලී හැන් ගම්මානයට සුපුරුදු තාලයේ සංසුන් හා නිහඬ රාත්‍රියක් නොවේ.
දිවා කාලයේ හදිසියේ කුණාටුවක පෙරනිමිති පහළ වීම නිසා ගම්මු කළබලයට පත්ව සිටියහ. එහෙත් වැඩි වේලාවක් ගතවීමට පෙර පැහැදිලි හේතුවක් ඉතිරි නොකොට අඳුරු වළාවන් පහව යාම ගැන ඔවුහු ඊටත් වඩා කළබල වූහ. සියල්ලටම වඩා, ඔවුන්ගේ කුතුහලය අවුස්සමින් චින්කන් කන්දේ වාසය කරන ධ්‍යානවේදීන් පිරිසක් අනාරාධිතවම හදිසියේ ගම්මානයට පැමිණීම ගැන ඔව්හු වඩාත් කළබලයට පත්ව සිටියෝය.
බොහෝ වැඩිහිටියන් මෙය වනයේ අඳුරු කොටස්වල වෙසෙන අවතාරවල කෝපය පෙන්වීමක් බව තරයේ විශ්වාස කළහ. එහෙත් රුඕ යී ගේ පියා ඊට එකහෙළාම විරුද්ධ විය.
"මම හැම දවසකම වනාන්තරයට යනවා." කරගැට පිරුණු දෑත්වලින් උණුසුම් තේ කෝප්පය අල්ලාගත් හේ, රුඕ යී දෙස බලා පැවසීය. "ඔවුන් පවසන අන්දමේ අවතාරයක් මට කිසිදාක හමුවෙලා නැහැ!"
එහෙත් හාස්‍යයට කාරණාව නම්, පියා කිසිම අවස්ථාවක වනාන්තරයේ අඳුරු කොටසට අඩිය තබා නොතිබීමයි. ඉතින් ඔහුට අවතාර හමුවන්නේ කෙසේද?
රුඕ යී, බිමට නවාගත් දෑසින් ගිණිමැළය අසල හිඳගෙන සිටියේ ය. ඔහුගේ සිතිවිලි සමුදාය තවමත් දහවල වූ සිදුවීම වෙත බැඳී පැවතිණි.
ඒ අද්භූත සිදුවීමට මුහුණ දී තිබුණු එකම පුද්ගලයා වූයේ රුඕ යී පමණි. ඔහුගේ මිතුරන් කිසිවෙකුත් ගුහාවට අඩිය තබා තිබුණේ නැත. සීරී ගිය නළලක් සහ දුහුවිලි වැකුණු ඇඳුම් සමඟ ඔහු ගුහාවෙන් එළියට විත්, කළු පැහැ රාක්ෂයෙකු ගැන කී කතාව ඔවුන් විශ්වාස කළේ නැත. ඔවුන් අනුමාන කළේ රුඕ යී ගුහාව තුල ලිස්සා ගොස් වැටී ඇති බවකි.
එහෙත් සැබැවින්ම, රුඕ යී ඔවුන්ට සම්පූර්ණ සත්‍යය පවසා නොතිබිණි. වැඩිහිටි ධ්‍යානවේදියා තම අත්ල හරහා යැවූ උණුසුම් රක්ත ධාරාව ගැන හෝ, ස්වකීය සිරුරින් නික්මුණු රන්වන් අසිපත ගැන හෝ ඔහු වදනකුදු ප්‍රකාශ කළේ නොවේ. ඒ ගැන හෙළි කිරීමට හෙතෙම මැළි වූයේය. ධ්‍යානවේදියාගේ අනතුරු ඇඟවීම තවමත් ඔහුගේ මනසේ රැව්දෙමින් තිබිණි. හැරත්, ඔහුව විශ්වාස කරන්නේ කවුරුද? ඔහුට ඒ කිසිවක් සිදුවූ බව ඔප්පු කිරීමටවත් නොහැක. රුඕ යී දැනටමත් ජීවිත කාලයකට ප්‍රමාණවත් අපහාස විඳගෙන තිබූ අතර, 'බොරු වපුරන්නෙකු' ලෙස හඳුන්වනු ලැබීම ඔහුට අවශ්‍ය වූවේ නැත.
YOU ARE READING
සදාතන ආරෝහණය (Eternal Ascension : The chronicles of Ruo Yi )
Fantasyරුඕ යී, දසවන වියේදී සිය ජීවිතය කණපිට පෙරළන ලද අත්දැකීමකට මුහුණ දෙයි. ඔහුගේ අරමුණ වූයේ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුළු වී ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමයි. ඔහුගේ ජීවිතය, ඔහුවත් නොදන්නා අබිරහස් රැසකින් වටවී ඇත. නේකවිධ අත්දැකීම් ලබමින් යන ජීවන චාරිකාවේදී ඔහුට...