චින්හන් කඳුවැටිය, ශිඛර දෙකකින් සමන්විත වූ අතර, අතිශය සුන්දර භූමි දර්ශනයකට හිමිකම් කීය. කන්දේ දකුණුපස ශිඛරයේ ලින්ග්‍යුන් විද්‍යාලය පිහිටා තිබූ අතර, වම්පස ශිඛරය වෙන්ව තිබුණේ ඉහල මට්ටම්වල ධ්‍යානවේදීන් වෙනුවෙනි. විද්‍යාලයේ සිසුන්ට වම් ශිඛරයට පිවිසීමට අවසර නොතිබු අතර, ඒ මගින් ඉහල මට්ටමේ ධ්යානවේදීන්ට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසී තිබුණි. හැකිළීමට හා දිගහැරීමට හැකියාව ඇති පාලමකින් ශිඛර දෙක සම්බන්ධ කිරීමට හැකියාව තිබූ නමුත්, එය පහත හෙළුණේ විශේෂ අවස්ථාවක පමණි.
රුඕ යී, මුල් වරට චින්හන් කඳුවැටියට පිවිසි විට හේ අතිශය පුදුමයට පත් වූයේ ය. පාසල් ගොඩනැගිලි හා පුහුණු පිටියත්, සිසුන්ගේ නිදන කුටි ආදියත් ඔහු සිතා සිටියාට වඩා විශාල වූ අතර, එතරම් ගොඩනැගිලි ප්‍රමාණයක් කඳු මුදුනේ ඇතැයි ඔහු කල්පනා කර තිබුණේ නැත. කඳුවැටිය පාමුල සිට එය කෙබඳු එකක් දැයි ඔහු කුඩා කළ සිහින මැවීය.
දැන් ඔහු චින්කන් කඳුවැටියේ ජීවත් වීමට යයි!
රුඕ යී, සිය යහන මත එහා මෙහා පෙරළුණේ ය. රාත්‍රිය ගෙවී ගොස් අළුයම් කාලය උදාවී තිබූ නමුත්, සිතේ ඇති කැළඹීම හේතුවෙන් නින්ද ඔහු කරා පැමිණියේ නැත. ඒ කුටියේ ඔහු හැරුණුවිට තවත් සිසුන් දෙදෙනෙකු නිදා සිටි අතර, සන්ග් අ'න් විසින් රුඕ යී එහි ගෙන එන විටත් ඔවුහු තද නින්දේ පසුවූ හෙයින් ඔවුන් අවදි නොකරන්නට හෙතෙම වගබලා ගත්තේ ය. ඉතින් හෙට උදෑසන හදිසියේම සිය කුටිය තුළ ආගන්තුකයෙකු නිදාසිටින බව සොයාගත් විට, ඔවුහු කුමක් කරනු ඇත්දැයි රුඕ යී වද වුණේ ය.
සීතල ඔහුගේ පොරෝණාව අතරින් රිංගා විත් සිරුර වෙළාගත් අතර, ඇතැම් විටක හේ වෙව්ලන්නට විය. කමක් නැත. ඔහු අනාගතයේදී ඊට හුරුපුරුදු වනු ඇත. ස්වකීය පපුව තුළට ගිය අසිපත එළියට ගත හැකි නම්, ඒ වෙනුවෙන් කඳු සියයක් වුවත් නැඟීමට ඔහු සූදානමින් සිටියේ ය.
කෙමෙන් කෙමෙන්, නොදැනුවත්වම නින්දට වැටුණු ඔහු අවදි වන කල ප්‍රමාද වූ අතර, දෑස් හැරිය විගස තමා සිටින්නේ කොහිදැයි වටහාගැනීමට ඔහුට මොහොතක් ගත විය.
YOU ARE READING
සදාතන ආරෝහණය (Eternal Ascension : The chronicles of Ruo Yi )
خيال (فانتازيا)රුඕ යී, දසවන වියේදී සිය ජීවිතය කණපිට පෙරළන ලද අත්දැකීමකට මුහුණ දෙයි. ඔහුගේ අරමුණ වූයේ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුළු වී ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමයි. ඔහුගේ ජීවිතය, ඔහුවත් නොදන්නා අබිරහස් රැසකින් වටවී ඇත. නේකවිධ අත්දැකීම් ලබමින් යන ජීවන චාරිකාවේදී ඔහුට...