චින්හන් කඳුවැටියේ යෝධ සෙවනැල්ලෙන් වැසීගත් කෙළවරක් නොපෙනෙන හරිත නිම්නය නිහැඩියාව තුළ ගිලී පැවතියේය. වළාකුළු වලින් ගහන අහස පුරා වචනයෙන් විස්තර කළ නොහැකි ගුප්ත බවක් පැතිරී යමින් තිබුණි. තවමත් හිරු රැස් පොළවට පතිත නොවූ නමුත් උදා සීතල වියැකී යමින් තිබූ මොහොතක, යන්තමින් මීදුම පහවෙමින් තිබූ කුඩා ගම්මානය කඩිසර හා ජවසම්පන්න මිමිණුම් හඬවලින් පිරී යන්නට විය.
හැන් ගම්මානය, කුඩා පවුල් විසි ගණනක එකතුවක් වූ අතර, සිය ගණනක් වූ ගම්වැසියන් අතරට කුඩා දරුවන්, ජවසම්පන්න තරුණ පිරිස්, මැදිවියට පත්වූවන් හා වියපත් මහල්ලන් යන සියළු කොට්ඨාස ඇතුළත් වූහ. ගම්පති තැන, වෙදැදුරු හා තවත් සුළුතරයක් හැරුණුකොට ඔවුන් අතරින් බොහෝ දෙනෙකු දරිද්‍ර හා කටුක ජීවිතයකට හිමිකම් කියූහ. චින්හන් කඳුවැටිය පාමුල පිහිටි හෙයින් හැන් ගම්වාසීන් නිතරම භූමිකම්පා හා පස් කඩාවැටීම් වලින් පීඩා වින්දෝය. කළුගල් පිරුණු පොළොව බෝග වගාව සඳහා එතරම් සුදුසු නොවූ හෙයින් බොහෝ දෙනා ජීවිකාව ගෙන ගියේ සතුන් ඇතිකිරීමෙන් හා අසල වනාන්තරයේ දඩයම් කිරීමෙනි. රාක්ෂයන් හා අවතාර ගැවසෙතැයි බිය වූ ගම්මුන් අතරින් වනාන්තරයට ඇතුළුවීමට නිර්භීත වූයේ ඉතා සුළු පිරිසකි.
රුඕ යී ගේ පියා මේ නිර්භීත සුළුතරය අතරින් එක් අයෙකු විය. දර කපන්නෙකු වූ හෙතෙම නිතර නිතර වනාන්තරයට ගොස් පළපුරුදුකම් ඇත්තෙකු විය. කුඩාකළ පටන්ම සිය පියා සමඟ ගමන් කළ දස හැවිරිදි රුඕ යී සමවයස් දරුවන් අතර වීරයෙකුගේ මට්ටමින් සැලකිණි.
එහෙත්... ඔහු වීරයෙකු සේ සැලකුණේ අසල්වැසි දිළිඳු දරුවන් අතර පමණකි. යමක් කමක් ඇති පවුල්වල දරුවන් ඔහුව දුටුවේ 'වැඩකට නැති දර කපන්නෙකුගේ පුතෙකු' ලෙස ය. ඔවුන්ගේ මතය වූයේ කිලිටි වැරහැලි ඇඳුමින් සැරසුණු රුඕ යී හා ඔහුගේ මිතුරන් අඩු තරමින් තමන්ට පෙනෙන මානයක හෝ සිටීමට නුසුදුසු බවයි. ගම්පති පුත්‍රයා වූ කොං මාඕ, රුඕ යී ඇතුළු දරුවන්ට නිරතුරුවම අඩන්තේට්ටම් සිදු කළේ ය. එහෙත් එවන් අවස්ථාවල කිසිවක් නොපවසා නිහඬව පසුබැසීමට තරම් මේ 'වැඩකට නැති' දරුවන්ට නුවණක් තිබිණි.
YOU ARE READING
සදාතන ආරෝහණය (Eternal Ascension : The chronicles of Ruo Yi )
Fantasiaරුඕ යී, දසවන වියේදී සිය ජීවිතය කණපිට පෙරළන ලද අත්දැකීමකට මුහුණ දෙයි. ඔහුගේ අරමුණ වූයේ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුළු වී ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමයි. ඔහුගේ ජීවිතය, ඔහුවත් නොදන්නා අබිරහස් රැසකින් වටවී ඇත. නේකවිධ අත්දැකීම් ලබමින් යන ජීවන චාරිකාවේදී ඔහුට...