සිතුවම

41 15 14
                                    

දැල්වුණු විදුලි බුබුලෙන් ආලෝකවත් වූ කුටිය දෙස නෙත් යොම වූ හාන්ස් එතුළට පියවර තැබුවේ කිසිදු හඬක් නොනැගෙන අන්දමිනි. එහි පැවතියා වූ තට්ටු ගණනක් වූ දුහුවිලි ප්‍රමාණය හැරෙන්නට එම කාමරය හා හාන්ස්ගේ කාමරය අතර වූයේ සුළු වෙනස්කම් කිහිපයකි. එහි හාන්ස්ගේ කාමරයෙහි මෙන් කණ්ණාඩි මේසයක් නොවූ අතර එහි තිබූ ඇඳට ඉහළින් සිතුවමක් තිබුණේ ද නැත. නමුත් මෙහි හාන්ස්ගේ කාමරයෙහි මෙන් කුඩා මේසයක් හා අල්මාරියක් පැවතියේ ය. එලෙසින්ම කාමරයෙහි පසෙකින් සිතුවම් රඳවන ආධාරක කිහිපයක් හා යම් බ්ලැන්කටයකින් ආවරණය කරන ලද ද්‍රව්‍ය ගොඩක් ද දැකගත හැකි විය.

ඒවා දෙස දුක්බර බැල්මක් හෙළූ හාන්ස් කාමරයෙහි වූ අල්මාරිය වෙත ඇවිද ගොස් එහි දොර විවර කොට එහි වූ රාත්‍රී ඇඳුම් කට්ටලයක් ගෙන එය ආදරයෙන් සිඹ, සිය හදවතට ළං කොට ගත්තේ ය. ඔහුගේ නෙත’ග දඟ කළ කඳුළු කැට අකීකරු අයුරින් ගලා හැලෙන්නට විය. සිය නෙතින් ගලා ආ කඳුලැලි පිස දැමීමට හෝ වෙහෙස නොවූ ඔහු නැවතත් ඇඳුම් කිහිපය තම නැහැයට ළං කර සිඹිමින් “මට පාළුයි ඩෑන්!” යි කෙඳිරුවේ ය. කාමරය මධ්‍යයට වන්නට තිබූ ඇඳ වෙත ගමන් කළ ඔහු එහි වූ ආවරණය ඉවත් කොට තම අත වූ ඇඳුම එය මත තබා කාමරය පසෙක වූ බ්ලැන්කටයකින් ආවරණය කොට තිබූ ද්‍රව්‍ය පැවති දෙසට ඇවිද ගොස් එහි වූ ආවරණය ඉවත් කළේය. ආවරණයට පහළින් වූයේ කැන්වස් කිහිපයකි. ඉන් සමහරක් හිස් ඒවා වූ අතර සමහරක තීන්ත ගල්වා තිබුණි. එහි වූ එක් සිතුවමක් තම අතට ගත් ඔහු එය ද රැගෙන නැවත ඇඳ වෙතට ගමන් කළේ ය. එහි හිඳ ගත් ඔහු කැන්වසය තම උකුලෙහි තබාගෙන ඒ වෙත නෙත් යොමු කළේ ය.

කැන්වසය මත වූයේ නග්න පිරිමි පුද්ගලයෙකුගේ සිතුවමකි. මදක් ඉහළට ඔසවාගත් තම’ත වූ කොළ පැහැ මිදි පොකුර මුවෙහිලා ගන්නට මෙන් ඉරියව්වකින් ඔහු කවිච්චියක ඇලයට වැතිර සිටියේ ය. ඔහුගේ හිස  නවාගත් එක් අතක් මත රඳවා තිබූ අතර දෙපා කවිච්චියෙහි අනෙක් පස තබා තිබුණි. සිතුවමෙහි වූ පුද්ගලයාගේ සිරුර මනාව වැඩුණක් විය. මදක් පුළුල් නළලත, සිහින් හෝ පුළුල් නොවූ දෙඇස්, තරමක් වක්වූ නාසය, පිරුණු දෙතොල්වලින් යුතු වූ ඔහුගේ මුව සුන්දර එකක් විය. සිතුවම කෙතරම් සුන්දරයත් එහි වූ වක්‍ර හා ඍජු පැන්සල් රටාවන් මගින් සජීවි ප්‍රකාශනයක් ඉස්මතු කොට තිබූ අතර විස්මිත අන්දමින් සංයෝජනය කොට තිබූ වර්ණ තුළින් සමස්ත සිතුවමට සජීවි, ත්‍රිමාණ ස්වරූපයක් ලබා දෙන්නට සිතුවම්කරුවා සමත් වී තිබුණි. අඳුරු පැහැ පසුබිම තුළින් මිනිස් රුව ඉස්මතු කොට දක්වා තිබූ අයුරු පැසසිය යුතුම ය.

මෙහි වූ වඩාත් විස්මයජනක කරුණ මෙම සිතුවමෙහි වූ කලාත්මක ගුණයන් නොවීය. එය නම්, සිතුවමේ සිටි පුද්ගලයා හාන්ස්ට රුවින් බෙහෙවින් සමාන වීම ය. නැත, ඒ ඔහුම විය යුතු ය.


හාන්ස්ගේ නෙත් සිතුවම වෙත ඇලී තිබූ අතරම ඔහුගේ අතැඟිලි කැන්වසය මත දිව ගියේ ය. කැන්වසය දකුණු පස ‌කෙළවර අත්සනක් විය. එය සිතුවම් ශිල්පියාගේ නම විය යුතු ය.

එහි සඳහන් වූයේ “වෙනියල්” යනුවෙනි

Someone He Loved (On Hold)Where stories live. Discover now