"පොඩී.….."
උණුසුම් මෘදු පහසක් මගේ කෙසින් තොර හිසට දැනීමෙන් අවදි වුනෙමි.බැල්කනි පඩිය මත්තේ ඔහුගේ මතකයන් වල පැටලී සිටියදීම නින්දට වැටී හුන් මගේ දෑසින් ගලා ගිය කඳුලු ගිලී ගිය කම්මුල් මත්තේ වියළී ගොස් තිබිණි.අයියා දෙසට මුහුණ හැරවීමට පෙර මම ඒවා පිසදා ගතිමි.
"ලොකූ.…."
ඔහු දෙසට හැරී මද සිනාවක් පෑවෙමි.
"ඇයි මේ එළියට වෙලා.…ඔයාට සීතලයිනේ පොඩී.…ආයිත් හුස්මගන්න ආමාරු උනොත් එහෙම.…."
ඔහු මා අසලින් දණ ගසා ගත්තේය.
"එහෙම්ම මැරිල යනව නම් එකක් ලොකූ.…මෙහෙම ඉන්න එකෙන් වෙන්නෙ මං ඔයාට වද දෙන එක විතරයි......"
එය සත්‍යයකි.අසනීප වූ දා පටන්ම ඔහුගේ ලෝකය මා වෙනුවෙන්ම වෙන් විය.ඔහුගේ කාලය මුදල් මහන්සිය හැම අංශුවක් ගානේම මා වෙනුවෙන් වෙන් විය.ඔහුගේ වෙලාවට ඔහුට ලැබී තිබුණේ ඔහුව තේරුම් ගතහැකි ආකාරයේ බිරිඳකි.ඇය නොවේ නම් ඔහුට මා නිසා බිරිඳත් නැතිව යාමට තිබිණි.
"මොනවද කියවන්නෙ පොඩී.…මං හැම දෙයක්ම කරන්නෙ මගෙ පොඩි එකාව සනීප කර ගන්න.අර හිටපු දඟ මල්ලව ආයි ගේන්න.එහෙම එකේ ඔය විදිහට හිතන්නෙ ඇයි.…."
"මාව සනීප කරන්න බෑ ලොකූ...දැන්වත් තේරුම් ගන්න.....මං හින්ද අක්කත් දුක් විඳිනවා.....මං හින්ද ඔයා එයාගෙන් ඈත් වෙලා.…."
"අක්ක එහෙම හිතන්නෙ නෑ පොඩී.…බොරුවට මනස්ගාත හිතල හිත රිද්ද ගන්න එපා.ඊයෙ රෑත් ඔයා නිදාගත්තම කඳුලු පුරෝගෙන ළඟට ඇවිල්ල ඔලුව අතගාල ගියා.එයත් දුකෙන් ඉන්නෙ ඔයා ගැන......"
ඇත්තය.අයියා නැති වෙලාවට මවක මෙන් මා බලාගන්නේ ඇය ය.ඔහු සිහි වී කඳුලු පුරවා ගන්නා සෑම විටෙකම කුමක් හෝ විහිලුවක් කර මා සිනා ගන්වන්නට ඈ දනී.
වේදනාවෙන් මිරිකෙමින් හුස්ම ගැනීමට වියරුවෙන් මා දඟලන විටෙකදී කඳුලු වැක්කෙරෙන දෙනෙතින් වුවද මා අසලින්ම සිට වදනකින් හෝ සැනසීම ගෙන ඒමට තනන්නී ඈ ය.මෙතරම් ආදරණීයයන් පිරිසක් අතර ඉපදීමට සලස්වා මෙතරම් ඉක්මනින් මට ඔවුන් අහිමි කිරීමෙන් දෛවය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මම නොදනිමි.
YOU ARE READING
JUST ONE MORE DAY [BL] ( COMPLETED )
Short Storyමරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට