පළමු පැය ගෙවා ගැනීම මෙතරම්ම අපහසු නම් තවත් පැය විසි තුනක් ගැන කුමන කතාද.…කවීශ් ද සිටින්නේ මා තරම්ම පීඩනයෙන් බව දැන සිටියෙමි.අප දෙදෙනාට එක් තැනකට වී නිසොල්මනේ සිටීමට නොහැකි වී තිබිණි.එක් අයෙකුවත් අනෙකාගේ දෑස් දෙස කෙළින් බැලුවේ නැත.අත්‍යාවශ්‍ය වදනකට හැරෙන්නට මුව හැරියේද නැත.මූසල නිහඬතාවයක් පමණක් අප අතර ඉතිරි වී තිබිණ.විටෙක අසුන් ගනිමින් සිටි අයෙක් විනාඩි පහකට වඩා එම ඉරියවුවෙන් රැඳුනේ නැත.සක්මන් කරමින්,කල්පනා කරමින්,සුසුම් හෙලමින් කාලය ගෙවා ගැනීමට තැත් දැරුවෙමු.
ඉතින් මේ කිසිත් නොදන්නා ඔහු අවසන් වතාවට මුහුණේ ඇඳුනු සාමකාමී සිනාවත් සමග සුවසේ නිදිය.එහේ මෙහේ සක්මන් කරනාතරතුර කවීශුත් මමත් සිය වරකට වඩා ඒ නළල සිප ගන්නට ඇත.
කවීශ් ශාකු වසා තිබූ ඇතිරිල්ල පපුවෙන් මදක් පහළට කර මදෙස බැලුවේය.මම හැඟීමෙන් තොරව හිස වැනුවෙමි.කාලය ගෙවා ගැනීමට ඔහුගේ දුර්වලව වුවත් උස් පහත් වන පපුව සැනසිලිදායක දසුනක් විය.අන්තිමේ කාලය ගෙවෙන තෙක් බලා හිඳ එපා වූ තැන සයනය අසලින් වාඩි වී ඔහුගේ කෝටු අතක් අල්වාගෙන ඒ ගෙලත් උරහිසත් අතර හිස ඔබාගතිමි.ඔහුට බාධාවක් නොවන සේ.…ඔහුගේ සුපුරුදු සුවඳට මදකට මා සන්සුන් කිරීමට ඉඩ හළෙමි.
පළමු පැය අට ගෙවී ගියෙන් පුංචි සීයා නැවත පැමිණියේ තවත් ඔසු බඳුනක් දෑත දරාගෙනය.
"තෙරුවන් සරණයි දරුවට.…..."
ශාකුව පරීක්ෂා කර බැලූ ඔහු නළලත අත තබා මිමිණුවේය...
"සීයේ.…."
"මට දැන්ම මුකුත් කියන්න බෑ දරුවෝ.…තව ටිකකින් අවදි වේවි.....එතකොට මේක පොවන්න.….නිදිමතයි කිව්වොත් නිදා ගන්න දෙන්න.….තව වරුවකින් ඊළඟ වඩියත් පොවමු....."
ඔහු නික්ම ගියේ නැවතත් අප තිදෙනා කුඩා කුටියේ තනි කරමිනි.
ඔහු කියූ ආකාරයෙන්ම ටිකකින් ශාකු සෙමෙන් ඇස්පිය හැරියේය.මදවෙලාවක් තමා කොහිදැයි වටහා ගන්නට මෙන් දෑස් කරකැවූ ඔහු හදිසියේ යමක් මතකයට පැමිණියාක් මෙන් කලබලයෙන් කුටිය පුරා නෙත් යැවීය.
YOU ARE READING
JUST ONE MORE DAY [BL] ( COMPLETED )
Short Storyමරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට