හයාසින්ත් සහ ඇපලෝ Hyacinth & Apollo

19 9 2
                                    

මේක ග්‍රීක මිත්‍යාවේ සඳහන්වෙන ආදර කතාවක්. කියවලා බලන්නකෝ.

අපේ කතාවේ ප්‍රධාන චරිතෙ තමයි හයාසින්ත්. (Hyacinth) මෙයා ගැන කිව්වොත්,
මෙයාගෙ දෙමව්පියන් විදිහට විවිධ තැන්වල විවිධ අයව සඳහන් කරලා තිබෙනවා.
ඒත් වැඩිපුරම තියෙන්නේ Clio සහ Pierus කියන දෙන්නගෙ ළමයෙක් කියලා. සහෝදර සහෝදරියොත් හය හතක් ඉඳලා තියෙනවා.

ඒවා වැඩක් නෑනෙ. කෙලින්ම කතාවට එන්නම්.

Hyacinth කියන්නේ වීරයෙක්  වගේම ස්පාටාවල හිටපු කඩවසම් කුමාරයෙක්. මෙයාගෙ කඩවසම් බව නිසාම මෙයාට ගොඩක් අය කැමැත්තෙන් ඉඳලා තියනවා. හැබැයි පුදුමය කියන්නේ ඒ අය සේරම පිරිමි අය. ඒ අතරේ බටහිර සුළඟට අධිපති සෙ(z)ෆයිරස් (Zephyrus), උතුරු සුළඟට අධිපති බෝරියාස්, (Boreas මෙයාව තමයි අර ජේසන්ට මුණගැහෙන්නෙ.) ඒවගේම මනුෂ්‍ය ගායකයෙක් වුන තමයිරිස් (Thamyris) කියන අය ඉන්නවා.
ඒත් මේ Hyacinth ගෙ හිත ගියෙ අපේ ඇපලෝට විතරයි.

ඉතින්, හයාසින්ත් සහ ඇපලෝ දෙන්නා ආදරවන්තයෝ වුනා. මෙයාලා සපාර්ටා නඟරය පුරා කඳු නඟිමින්, දඬයම් කරමින් ඇවිද ගියා. හයාසින්ත්ට, ඇපලෝගෙ හැම පූජනීය ස්ථානයකටම යන්න අවස්ථාව ලැබුණා. ඇපලෝ එයාගෙ ආදරවන්තයට දුනු විදින්න, සංගීතය, වීණා වාදනය කරන්න වගේම අනාවැකි කීයන කලාව සහ ක්‍රීඩා මණ්ඩපයේ ව්‍යායාමත් ඉගැන්වුවා.

දවසක්  ඇපලෝ හයාසින්ත්ට කවපෙත්ත විසි කරන්න උගන්වමින් හිටියා. ඔවුන් දෙන්නා සුහඳ තරඟයක් තියන්න තීරණය කළා.
ඇපලෝ පළමුව කවපෙත්ත විසි කළා. වලාකුළු කපාගෙන යන්න තරම් වේගයකින් කවපෙත්ත ඉදිරියට ඇදී ගියා. මේ අතරේ හයාසින්ත් හිතුවා වේගයෙන් විසිවෙන කවපෙත්ත අල්ලගෙන අරන් ඇවිත් තමන්ගෙ ආදරවන්තයාව පුදුම කරන්න. ඔහු කවපෙත්ත පිටුපසින් දිව්වා.

ඒත් එකපාරම කවපෙත්ත ආපසු හැරිලා ඇවිත් හයාසින්ත්ගෙ ඔලුවට වැදුණා. ඔහු මාරාන්තික තුවාල ලැබුවා. එය හයාසින්ත්ට ඉබේ සිදු වූ අනතුරක් නෙවෙයි. ඔහුට මුලදි ඉඳන් කැමැත්තෙන් හිටපු සෙෆයිරස්, ඒ කියන්නෙ බටහිර සුළඟ තමයි කවපෙත්තේ දිශාව වෙනස් කළේ. ඇපලෝ එක්ක ආදරෙන් සතුටින් ඉන්න හයාසින්ත් ගැන තිබුණු ඊර්ෂ්‍යාව නිසා සෙෆයිරස්, හයාසින්ත්ව මරන්න කියලා කවපෙත්තට ශාප කළා.

මැරෙමින් සිටින ආදරවන්තයාව දැක්කම ඇපලෝ ගොඩාක් දුක් වුණා. ඔහු හයාසින්ත්ගෙ දෑතින් අල්ලාගත්තා. ඖෂධවලට අධිපති දෙවියා විදිහට ඔහු සතු සියලුම ඖෂධ හැකියාව යෙදුවා. ඇම්බ්‍රොසියා, ඒ කියන්නේ ⁣දිව්‍යමය ආහාර දීලා හයාසින්ත්ගෙ තුවාලෙ සුවකරන්න හැදුවා. නමුත් සියල්ල නිෂ්පල වුනා.

ඔහුට හයාසින්ත්ව සුවකරන්න හැකි වුණේ නෑ. හයාසින්ත් මියගියා. ඇපලෝ තමන්ටම දොස් පවරගත්තා. මනුෂ්‍යයෙක් වෙලා හයාසින්ත් එක්කම මිය ගිහින් මරණයේදීවත් ඔහු සමඟ එක්ව ඉන්න පුළුවන් වුණානම් කියලා ඔහු ප්‍රාර්ථනා කළා.
ඒත් දෙවියෙක් නිසා ඇපලෝට මැරෙන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඉතින් ඔහු වීණාවේ සංගීතය ඇසුරෙන්, තමන්ගේ ආදරවන්තයා වුණ හයාසින්ත්ව සදාකාලිකම මතක තබාගන්න තීරණය කළා.

හයාසින්ත්ගේ තුවාලයෙන් වැගිරුණ ලේවලින් ඇපලෝ මලක් නිර්මාණය කළා.
ඒ මල හයාසින්ත් නමින් නම් කලා. එම මලේ පෙති අතර බලා පෙරොත්තු කඩවිම "Al Al" අන්තර්ගත කලා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි හයාසින්ත් කියන මල ලෝකයේ ලස්සනම මල ලෙස ග්‍රීකයෝ සැලකුවා. ඒ වගේම ඒ මලට හිත් බැඳගන්න සුවඳකුත් තිබෙනවාලු. ඒ වගේම මේ ශාකයෙන් ගන්න තෙල් වල ඖෂධීය ගුණයකුත් තිබෙනවාලු. ඒ ඔෂධය විශේෂයෙන්ම මානසික ආතතියට ඔසුවක් ලු. රූපයේ තියෙන්නෙ Hyacinth මල්.

තව දෙයක් කියන්න ඕනි. මම කලින්ම කිව්වානෙ තමයිරස් කියලා කෙනෙක් ගැන. එයා තමයි ලෝකෙ පළමුවෙන්ම තවත් පිරිමියකුට ආදරය කළ පිරිමියා ලෙස හඳුන්වන්නේ.
__________________________

මේක මම කාලෙකට කලින් ලියපු ලිපියක්. 😅 2019දි, පරණම ඇක් එකකින් ඉඳිද්දි. ඒ ඇක් එකවත් දැන් නෑ මගේ ළඟ.
ඔයාලා interesting වේවි කියලා හිතලා දැම්මෙ.

✍️ Muse Euterpe

මිත්‍යා වතDove le storie prendono vita. Scoprilo ora