10

614 60 21
                                    

"ඉතකොට කොහොමද සෙත්මලගෙ ගෙදරින් දැනගෙන තියෙන්නේ ?? " දෙව්මි ඇහැළ ගහ යට යකඩ වැටට හේත්තු වුණා. උදේ පාන්දර  යන්තන් බිම වැටිලා තියෙන ඇහැල මල් එක දෙක දිහා මං ඔහේ බලාගෙන හිටියා. මේවා හැමදාම මෙතන තියෙන්නෙ අතුගාන්න ලෝබ නිසාද නැත්තන් කම්මැලි නිසාද මංදා...

"මං ලියලා දුන්න කොලේ අම්මලා දැකල ඇති සමහරවිට.."

"ඒ දැක්කත් උඹ කියලා කොහොමද දන්නේ..."

"සිත්මගෙ කටින් ගන්න ඇති..ඒකිට වද දෙන්න ඇති පුළුවන් තරම්...." මගේ කටහඬ එන්න එන්නම බිඳිලා ගියා. ඒක දැකලා දෙව්මි කලබල වෙලාද කොහෙද මගෙ අතින් අල්ලගත්තා.

"දැන් උඹ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ...." මේ ලෝකෙ තියෙන අමාරුම ප්‍රශ්නෙ එයා ඇහුවා. මට බයයි... ඒකට උත්තරේ මේ ලෝකෙ තියෙන අමාරුම දේද කියලා...

ජීවිතේ මට මේ තරම්ම නපුරු වෙන්නෙ ඇයි කියලා මං කල්පනා කළා. මං මේ මගෙ දුක කියනවා නෙමෙයි ඒත් මට මේ වගේ දේවල් දරාගෙන ඉඳලම ඇතිවෙලා තියෙන්නෙ. දෙයියනේ මං ආදරේ කියලා දෙයක් විඳින්න පටන් ගත්තා විතරයිනේ...ඇයි මෙහෙම කරන්නෙ...මොකක්ද මං කරපු වැරැද්ද...මං නැතත් ඒ අහිංසකී කරපු වැරැද්ද මොකක්ද... ඒක ආදරේද....

අම්මව මරාගෙන ඉපදිච්   කාලකණ්ණියෙක්...පුංචි කාලෙ හැමෝගෙම අනුකම්පාව හම්බුණත් පස්සෙ පස්සෙ මං ටික ටික ලොකු වෙද්දි ගමේ මිනිස්සු එහෙම කියන්න පටන් ගත්තා. ඒ කතා ඇත්ත වෙන්න ඇති සමහරවිට... මං මාවම අන්ඩස්ටිමේට් කරගන්නවා නෙමෙයි. මං කියන්නෙ ඇත්ත. මට දැනෙන මට පේන දේ.

ඉස්සරහට මොකද වෙන්නෙ...මේ දවස් දෙක ඇතුලෙ මං කල්පනා කරන්න බයෙන් හිටපු දේ දැන් හිතන්න පටන් ගත්තා. මට නැතත් එයාට මොකද වෙන්නෙ කියන දේ ඉස්සරහ මං අසරණ වුණා. මගේ විනාස වෙන්න දෙයක් නෑ. ඒත් එයා එහෙම නෑ. තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. අර කිව්වත් වගේ මං කරන්නෙ එයාගෙ ජීවිතේට මගේ කාලකණ්ණිකම පුරෝන එක විතරයි. උත්තරේ මගේ ඉස්සරහ පැහැදිලිවම පේන්න තිබ්බත් මං අන්ධයෙක් වගේ තව තවත් දුරට ගියා.

"මං මොකක්ද කරන්න ඕනෙ..." මං දෙව්මි දිහා බැලුවා. එයාගෙ ඇස් වල තිබ්බෙ දුකක්ද සතුටක්ද අනුකම්පාවක්ද  කියලා කියවගන්න මට අමාරු වුණා.

ස්නේහ (GL) Where stories live. Discover now