"සිත්මා..." එයා හොඳටම හති දැම්මා. බෙල්ල දෙපැත්තෙන් ලාවට දාඩිය බිංඳු දෙකක් වැක්කෙරුණා. මං තව තවත් අස්සට ගුලිවුණේ කරකියාගන්න දෙයක් නැතුව. මට දැනුණෙ හරියට මං පතුලක් නොදන්න ආගාදෙක හිරවෙලා ඉන්නවා වගේ. එයා හිමිහිට ඉස්සරහට ඇවිත් මගෙ ලඟින් දණ ගැහුවා. එයාගෙ කළු පාට ඇස් කඳුලු වලින් බොඳ වෙලා තිබුණා.
"සිත්මා...." එයා වෙවුලන අත්වලින් මගේ මූණ අල්ලන්න හැදුවා. මං එකපාර ඒ අත් ගසලා දැම්මා.
"යනවා යන්න " හිතන්නත් කලින් මගේ කටින් පිටවුණා. එයා ඉක්මනටම අත්දෙක ආපහු ගත්තා. ඊලඟට ගෙවුණේ කාලාවකාශයේ හිදැස් තිබ්බ තත්පර,විනාඩි.
මං අත් දෙකෙන් මූණ වහගෙන හොඳටම ඉකි ගැහුවා. ඇස් වලට අහුවෙන මානෙ තිබ්බ ඒ කට්ට කළුවරෙන් මං මෙච්චර කාලයක් මගේ පපුව අස්සෙ හිර කරන් උන්නු වචන දාස් ගාණක් එහෙ මෙහෙ පාවෙනවා මං දැක්කා. ඒ ඇස්, ඒ තොල්, ඒ හිනාව, ඒ වචන මට ආයෙ ආයෙ මැවිලා පේන්න පටන් ගත්තා. දෛවය කියන මඟුල මාත් එක්ක සෙල්ලම් කරනවා. ඌ දන්නෙ මිනිස්සුන්ගෙ හීන, බලාපොරොත්තු විනාස කරලා ඒකෙන් සතුටු වෙන්න විතරයි.
එයා ටික ටික මට ලං වෙන්න ගත්තා. එයාගෙ උණු හුස්ම මගේ අත් වලට දැණුනා. ඒ එක්කම එයාගෙ ඇස් දිහා බලන්න ආසවකුත් වගේම මෙතනින් පැනලා දුවන්නත් ආසාවක් එකපාර මතු වුණා. මට කිසිම දෙයක් කරන්න ඉඩ නොතියා එයා මාව තදින් වැලඳගත්තා. මං පුළුවන් උපරිමෙන් එයාව තල්ලු කරන්න හැදුවත් එයා ඊටත් වඩා තදින් මාව අල්ලගෙන හිටියා. විරුද්ධ වෙන එක මෝඩ වැඩක් කියලා අන්තිමේදි මං තේරුම් ගත්තා.
ගොඩක් කාලෙකට කලින් නැතිවෙලා තිබිච්ච දෙයක් ආයෙත් හිතපුවත් නැති වෙලාවක මතුවුණාම දැනෙන්නෙ කොයි වගේද කියලා ඔයාට හිතිලා තියෙනවද...ආයෙමත් හම්බවෙයි කියලා බලාපොරොත්තු දහස් ගාණක් හිතේ පැලපදියම් කරගෙන ඉඳලා කල් යන්න යන්න ඒවා එකින් එක මැරිලා ගිහින් හිත ඔද්දල් වෙලා තියෙද්දි එකපාරම ඒ දේ ආයෙමත් හම්බුණාම අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි වෙලාවක් එනවා නේද...අන්න ඒ කාලසීමාවේ තමයි මං ඒ වෙලාවෙ හිටියෙ.
මං මගේ මුරණ්ඩු හිත අතෑරලා දැම්මා. මගේ හිතට එයා ලඟ දියවෙලා යන්න ඉඩ දුන්නා. හැමදේම හෑල්ලු වෙලා යන්න එයාගෙ වැහිවලාකුළු පාට ෂර්ට් එක ගුලි කරලා අල්ලගෙන හොඳටම ඇඬුවා. එයාගෙ රස්නෙ ඇඟිලි මගෙ කෙස් අතරින් එහෙ මෙහෙ දුවනවා මට දැනුණා. එයාගෙ තොල් ලාවට මගේ බෙල්ලෙ වදිනවත් මට දැණුනා. මං සිහියත් අසිහියත් අතර එක්තරා තැනක නතර වෙලා හිටියා. ආයෙමත් මේ මොකක්ද වෙන්න යන්නෙ...කිසි දෙයක් මගෙ මොලේට තේරුණේ නෑ.
YOU ARE READING
ස්නේහ (GL)
Romanceබොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?