"ආරව්.. මං මේකෙන් තව එකක් කන්නද? බඩගිනී බං..."
දාඩිය පෙරණු වතම ඔහේ පුටුව උඩ අතෑරගෙන හිටපු විහේන් හරි හදිස්සියකින් වගේ කටට ඔබාගත්තු ලැවරිය එකට පස්සෙ ලන්ච්ෂීට් එකක ඔතලා ඩෙස් එක උඩ තියලා තිබුනු අනිත් ලැවරිය දෙකෙන් එකකට අත යවන ගමන් ඒ මහන්සි පාට ඇස් මගෙ මූණ පුරාවට එහෙමෙහෙ දිවවෙව්වා..
"කාපන් බං.. උඹ ආස හින්දමයි මං ඔච්චර අරන් ආවෙත්..."
මල්ලිටත් දීලා කන්න පුතේ අද උයන්න ගේ හරියෙ මුකුත් නෑ.. කිය කිය ලන්ච්ෂීට් එකක ගුලි කරපු ලැවරිය තුනක් පත්තර කොලේක ඔතලා මගෙ අතට හිර කරපු අම්මගෙ ඇස් පපුව අස්සෙන් මැවෙද්දිත් මං විහේන්ට හිනාවක් දික් කරන් ඔහේ කියෙව්වා.. තව එකක් ඉතුරුයිනෙ ඒක මල්ලිට දෙනවා... මං ඒ අස්සෙම හිමීට හිතාගත්තා..
"උඹ දැන් ආයෙත් ග්‍රවුන්ඩ් යනවද වීහු?"
"හ්ම්ම්.. අද ෆුල් ඩේ ප්‍රැක්ටිස්... මගෙ බෑග් එකේ සැන්ඩ්විච් වගයක් ඇති මල්ලිත්තෙක්ක කනවා.. මං යනවා..."
"එපා උඹ ඒ ටික හවස... අහ් නෑ මේහ්..."
එපා කියන්න ගියපු වචන ටික එහෙමම ගිලුනෙ ඒ මූණෙ ඇඳිච්ච මහ නරක මරුමුස් බැල්මට මගෙ පපුවම සීතල වෙච්ච හින්දා.. යකෙක් වගේ...
"මානව් තාම පොඩි ළමයෙක්. උට තමුසෙ වගේ ගැලුම් ගණං වතුර බිබී දවසම බඩගින්නෙ ඉදන් ඉගෙන ගන්න බෑනෙ. ඕක අරන් ගිහින් දෙන්නත්තෙක්කම කනවා ආරව්.. මං කේෂ්ලත්තෙක්ක බත් කනවා හවස. අනික තමුන් ඕක කෑවත් නැතත් මං ඕක කොහොමත් විසිකරලා දාන්න හිටියෙ..."
ඔයා මගෙ හිත කියවන ගානට මෙහෙම හැසිරෙන එක මට දරාගන්න හරි අමාරුයි විහේන්.. මගෙ බඩගින්නෙ මහන්සියෙ ඉදලා හැම හැඟීමක්ම ඔයා හරි ලස්සනට පරිස්සමට තේරුම් ගන්නවා... වෙලාවකට මගෙ හුස්මත් ඇති ඔයාට මං හොඳින්ද නැද්ද කියලා හිතාගන්න..
"බෙල් එකට තව ෆිෆ්ටීන් මිනිට්ස් වගේ තියෙයි නෙහ්?"
"හ්ම්ම්.."
"විනාඩි පහක් මගෙ ඔලුව අතගානවකො. උදේ ඉදලම අව්වෙ ඉදලා හෙන අමාරුයි.."
ග්‍රවුන්ඩ් යන එක පැත්තකින් තියපු විහේන් එක පාරම පුටු දෙකක් ලං කරලා ඒ උඩ දිගාවෙන ගමන් මගෙ ඔඩොක්කුව උඩින් ඔළුව තියාගෙන යන්තමට ඇස් පියාගත්තා..
මොකක්දෝ කියාගන්න නොතේරෙන මහ අමුතු හැඟීමකින් පපුවම වෙව්ලුම්කද්දි මං එක සීරුවට ගැහෙන්න ගත්තු ඇඟිලිතුඩු ඒ ගොරෝසු රළු කෙස්ගස් අස්සෙන් එහෙමෙහෙ යැව්වා..