හවස් වරුවෙ අහස චුට්ටක් රතු ගැහෙනකම්ම හොඳ නින්දක් දාපු අපි පහ හය වෙද්දි මාළිගාවට යන්න ලෑස්ති වුණා.. හඳුන්කූරු සුවඳ එක්ක තෙල් මල් සුවඳ මුහුවෙච්ච ඒ බිමට අඩිය තියපු පළවෙනි තප්පරේ ඉදම්ම හිතට දැනුනෙ එසේමෙසේ සැනසිල්ලක් නෙවෙයි..
මොකක්දෝ කියාගන්න නොතේරෙන හැඟීමක් පපුව වෙලාගද්දි රත්තරන් පාටට දිළිසෙන දළදාව දිහාවට ඇස් තියාගෙන ඒ ලී පොළව උඩ වැටීගෙන අපි නොසෑහෙන වෙලාවක් ගාථා කියන්න ඇති.
පහුගිය දවස් ගානක් පුරාවට පපුව රිද්දපු හැඟීම් සේරම එක අහුරට හේදීගෙන යද්දි නුවර වැවේ වතුර මුහුවෙච්ච සීතල හුළං වතේ දවටගෙන අපි හීන් සීරුවේ වැව රවුම වටට ඇවිද්දා.. අපිත්තෙක්ක එහාමෙහා වෙච්ච මිනිස්සු දාස් ගානක් අතරෙන් බාගෙකටත් වඩා හිටියෙ මහ සන්තෝසෙකින් පපු පුරෝගත්තු ආදරවන්තයො.. නුවර වැව රවුම කියන්නෙ එහෙම තැනක්. වැවේ වතුරටත් වඩා ආදරේ උතුරන තැනක්..
අනන්‍යාව මතක් වෙලාද මන්දා විහේන් නොසෑහෙන වතාවක් මහ බරට හුස්ම හෙලනවා ඇහුනත් අපි කවුරුත් ඒ ගැන අහන්න ගියෙ නෑ... හුස්මක් දෙකක් හෙලපු පලියට එහෙම හිත නිදහස් වෙන්නෙ නෑ විහේන්.. ඔයා දරාගන්න ඕනෙ. තනියම හරි මේ වේදනාවල් උහුලගන්න ඕනෙ..
අභී කෙවින් එක්ක මාළුන්ට කන්න පොරි ගේන්න ගියපු තප්පරේට දෙකට විහේනුයි මමයි දෙනෝදාහක් එහෙමෙහෙ දුවන වැව රවුම උඩ තනි වුණා.. කොහෙදෝ ඈතක් දිහාවට ඇස් තියාගෙන හරි හිමීට අඩියක් දෙකක් තියාගන්න ඒ වත පස්සෙ වැටීගෙන මමත් ඒ මත්තෙ දැවටුනේ ඈතින් අභීලා පොරි පැකට් කඩ කඩා පොරි අහුරු වැවට දානවා පේද්දි..
එදා ඔය තැන ඔය විදිහටම හිටියෙ අපි දෙන්නා වීහූ.. අද වෙනකොට ඒ අපිම කොච්චරනං දුරස් වෙලාද? පිට මිනිස්සු දෙන්නෙක් ගානට දෙපැත්තක් බලාගෙන ඔහේ ඇවිදන් යනවා..
"ඕනෙද?"
"අහ්?"
"එයාලට කන්න දාන්න ඕනෙද??"
නෑ මං මුකුත් කියන්නත් කලින් එයා එතනම තිබුනු කඩේකින් ලොකු පොරි පැකට් දෙකක් ගත්තා.. මාවත් අතින් අල්ලගෙනම වැව අද්දරට යනකල් හරි පරිස්සමට ගියපු එයා එක පොරි පැකට් එකක් කඩලා ඒක එහෙමම මගෙ අතට ගුලි කරලා කිසි කතාවක් නැතුවම වැව් ඉවුරෙ බිම ඉදගෙන මගෙ අතේ තිබුනු පැකට් එකටම අත දදා පොරි අහුරු අරගෙන වැව් ඉස්මත්තෙ අසිහියෙන් වගේ දගලන මාළුන්ට කන්න දාන්න පටන් ගත්තා..