වෙච්ච හැමදේම කොහොමින් කොහොම හරි උහුලගෙන මෙච්චරක් පපුව රිදෙද්දිත් ගෙදර මිනිස්සු ඉස්සරහා හිනා මූණක් දික් කරන් ඉන්න එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි වුණත් වැඩ එක්කම නැහෙන අම්මටවත් ටීවි එකයි යාලුවොයි සෙල්ලමයි ජීවිතේ වෙච්ච මානව්ටවත් මං ඉන්නෙ මොන වගේ තත්වෙකද කියලා ගානක් වුණේ නෑ..
දවස් ගානක් තිස්සෙ එක දිගටම වුණේ පපුව පාරන සිද්ධි වෙනකොට පිටකරගන්න බැරි පීඩනයක් හිතේ හිරකරන් මං හිටියෙ පොලිතින් බෑග් එකක් අස්සෙ ඔලුව ඔබාගෙන හුස්ම ඇඳගන්න බැරුව දගලන එකෙක් ගානට.
"ආරව්.. මොකද දරුවො මේ කාමරේ හැටි. නිවාඩු දවසෙවත් ඔය ගුහාව අස් කරගෙන අර මල්ලිගෙ පොත් ටික බලලා හෝම්වර්ක් වලට චුට්ටක් උදව් වෙන්නකො ඇඳට වැටිලා ඔහේ කාලෙ කන්නැතුව.."
අම්මගෙ වචන හිතට මහ වදයක් වෙද්දි සේරම දමලා ගහලා ඔලුව හැරිච්ච අතේ යන්න හිතෙන තරමටම මං හිත රිද්දගෙන තිබුනා. අනේ අඬන්නවත් නිදහසක් තිබුනනං.. සත්තයි මට එහෙම හිතෙන්න ඇරගෙන තිබුනා..
මං එහෙම හැමදේටම අඬන කොල්ලෙක් නෙවෙයි. මං ඇස්වලට කඳුළු ගන්නෙ හරි කලාතුරකින්. ඒකත් මුළු ලෝකෙටම නොපෙනෙන්න මේ කාමරේ ඇඳ කොට්ට විතරක් දන්න තරමට රහසින්.
"ආරව් මට ආයෙ කියන්න තියන්න එපා පුතේ.. බලන්න ඔයා ඊයෙ ඇවිත් ගලවපු ඇඳුමුත් තාම බිම තිබුනා මං දැක්කා.."
අම්මා කුස්සියේ ඉදන් කෑගහද්දි මං කොට්ටයක් ඇදලා ඇරන් කන් දෙකම වැහෙන්න ඔලුව වටෙන් හිර කරගෙන එහෙමම ඇදේ පෙරලුනා.. අනේ කෑගහන්න එපා අම්මා මට දුක හිතිලනෙ ඉන්නෙ කියාගෙන අඬාවැටෙන්න පවා මට හිතුනා..
හෙට විහේන්ගෙ මැච් එක. මං කොච්චර ආසාවෙන්ද යන්න හිටියෙ..
"හුත්..ක් කියවන්න එපා ආරව් අනිවා වරෙන් හොඳද.. උඹ මැච් එක බලන්න ආපු දවසට තමයි මං වැඩිපුරම ස්කෝ කරන්නෙ. උඹ ඒක දන්නවනෙ.."
අනන්යා හින්දම කොහේවත් නැති බොරු වැඩ කන්දක් මවාගෙන මැච් එක බලන්න එන එක ෂුවර් නෑ කිව්වම විහේන්ගෙ කටින් පිටවුණු ඒ වචන මට ආයෙ ආයෙත් ඇහීගෙන නෑහීගෙන ගියා..