මේ කියන්නෙ එක්ටැම් ගෙයක හිර කරල ඉදිය රපුන්සල් ගැන අපි හැමෝම දන්න කතන්දරය නෙවෙයි.
ජීවිතේ එක්තරා හේතුවකට තමන්ගේ කොණ්ඩෙ කැප කරපු රපුන්සල්ලගෙ කතන්දරයක්...මට රපුන්සල් ට වගේ ලස්සන කොණ්ඩයක් තිබුනෙ නෑ ...ඒත් මගේ අම්මට තිබුනා ..හැබැයි මම ඒ කොණ්ඩෙ දැක්කෙ පොටෝ වලින්. මාව හම්බ වෙනකොට එයා ඒ කොණ්ඩෙ කපලා දාලා ...
අම්මගේ කොණ්ඩෙ දණහිසෙන් පහලටත් වැටුනු කිතුල් මල වගේ විහිදුනු කොණ්ඩයක්. ඒක ඝනකම වගේම තද කලු පාට හන්දා සුදු පාට එයාට ඒක හොදටම ගැලපෙනව.
තාත්තා අම්මා එක්ක යාලු වුනෙත් ඔය කොණ්ඩෙටම බව මම දන්නව.
අම්මා කියනව ඇහිල තියෙනවා...තාත්තා කැමති නෑලු අම්මා කොණ්ඩෙ කපනවට . ඒත් හැබැයි එයා කැමති වෙලා තිබුන නරක පුරුද්දකට. පොඩි පොඩි රණ්ඩු වලදි අම්මගේ කොණ්ඩෙන් ඇදල එයාට ගහන්න. මේ හේතුව හින්දම ද කොහෙද අම්මා කොණ්ඩෙ ඉණ ගාවට කපල තිබුනා.
මට ඉස්සර මතකයි අම්මා එයාගේ කොණ්ඩෙ තෙල් ගාලා පීරලා ගොතලා මාවත් එක්කන් ගමන් යන විදිහ..මම එයාගේ කොණ්ඩෙන් එන සුවද ට ආසා කරා ..සමහර දාට ඒ සුවඳ විදිහට දැනුනෙ තේ දලු වල සුවඳ ..රාණි කැටයක සුවඳ ...තව මොන මොනවදො සුවඳවල් මට දැනුනා..එතකොට අම්මගේ ජාන අරන් මගෙ කොණ්ඩෙත් එයාගේ වගේම වැවුනා..තාත්තා මටත් කොණ්ඩෙ කපන්න දුන්නෑ ...
වයස පහලොව වෙනකොට මගේ කොණ්ඩෙ ඉණෙන් පහලට දිගයි. හැබැයි පීණස හන්දා මගේ කෙස් සුදු වෙන්න ගත්තා .මම මගේ කොණ්ඩෙ ට ආදරේ කරාද නැද්ද කියල මට හිතා ගන්න බෑ..අම්මා තමයි මගේ කොණ්ඩෙ පීරල ගොතන්නෙ...(හය වසර වෙනකන්)
එයා මට කොණ්ඩ ගොතන්න පුරුදු කරේ එකට ගැට ගහපු රෙදි පටි තුනක් අතට දීලා ..මොකද දවසක් අම්මා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ඉද්දි මාව ඉස්කෝලෙ යැව්වේ තාත්තනෙ.
තාත්තට කොණ්ඩ ගොතන්න තේරෙන්නෑ. එයා මගෙ කොණ්ඩෙ ලණු අබරනවා වගේ එදා ගෙතුවේ. ඊටපස්සේ ඉස්කෝලෙ අක්කා කෙනෙක් ඇවිත් මේ මොන මල විකාර style එකක් ද කියල මට බැන බැන කොණ්ඩෙ ගෙතුවා...ඔයාට මතකද රජ්ජුමාලාගෙ කතාව . එයා දාසියක්. එයාගේ හිමිකරුවා එයාට ගැහුවෙම එයාගේ දිග කොණ්ඩෙන් ඇදල. රජ්ජුමාලා ඊටපස්සේ කොණ්ඩෙ කපනවා. නෑ ඊටපස්සෙත් එයාට සැනසීමක් ලැබුනෙ නෑ ..එයාගේ බෙල්ලට දානව ලණුවක්. ඕකෙන් ඇදල තමයි ඊටපස්සේ ගහන්න ගත්තේ. රජ්ජුමාලා සියදිවි නසා ගන්න ගියේ ඔය දුක් ගැහැට හන්දා ම තමයි. බුදු හාමුදුරුවෝ නොහිටින්න රජ්ජුමාලා මැරෙනවා..
අම්මත් කාලයක් රජ්ජුමාලා වුනා ..එතකොට මමත් කාලයක් රජ්ජුමාලා වුනා ...
ඒ කොහොමද.....?
මම දන්නෑ ඇයි අම්මා එයාට වුනු දේම මට කරේ කියලා. අම්මත් මට පොඩ්ඩක් ඇත්නම් ගැහුවේ කොණ්ඩෙ අල්ලන්. අනේ මගේ කොණ්ඩෙ අහුරක් ගැලවෙනකන් එයා ඇදල තිබ්බා ..මගේ ඔලුව බිත්තිවල වැදුනෙ ම ඒ දිග කොණ්ඩෙන් අදිනකොට මාව කඹයක් දාලා වගේ එහෙට මෙහෙට වැනෙනවා.
අම්මා ගැහුවේ සමහර වෙලාවට කිසිම හේතුවක් නැතිව ..
කවුරු හරි ඇහුවොත් ඔයා තාත්තට අකැමැති ඇයි කියලා මම කියන්නෙ මම ගුටි කෑවෙම තාත්තා හන්දා කියලා. මම ඉදියේ අම්මගේ ජීවිතේ එයාගේ වේදනාව දුක කේන්තිය පිට කරන කලාපයේ...එයා එයාගේ කේන්තිය නිවෙනකල් මට ගහල තියෙනවා
එයාට ඕන කරා මාව පුලුවන් තරම් බය කරල තියා ගන්න. ඒ කොච්චර ද කිව්වොත් එයා මට බැනගෙන ආවොත් මම හරි වුනත් හ්ම් කියන්නැති තරම් බය වෙන විදිහට ...
තව එයා දෙයක් කරා .ගුටි කාලා කාලා ඉදිමිලා තුවාල වෙලා ඉන්නකොට එයා මට එක එක තෑගි ගෙනත් දුන්නා .ඔය ඇදුම් එහෙම...තව එදාට හොදට කෑමක් උයනවා..මගේ ගොඩක් ඇදුම් මම ගුටි කාලා ගත්ත ඒවා කිව්වොත් හරියි .
මෝඩකමට නොවුනත් මම ඒ තෑගි අරන් අම්මා එක්ක යාලු වුනා .මොකද මාව මරන්න හරි ජීවත් කරන්න හරි මට ඉදියේ අම්මා විතරයි නිසා...කාලෙත් එක්ක එයා තේරුම් ගත්ත මගේ ඇග ඇතුලේ එයාට විරුද්ධව power එකක් ගොඩ නැගෙනවා කියලා. තවදුරටත් එයාට මාව පාලනය කරගන්න බෑ කියල දැනුනම ඒ විදිහට ගහන එක එයා නැවැත්තුවා...
ඊටත් පස්සෙ මම රපුන්සල් වගේ කොණ්ඩෙ කැපුවා ...හැමදේම හොද වුනාටත් පස්සෙ...
මට මගේ අතීතය විනාශ කරන්න මටම හානි කරගන්න තියෙන ලේසි ම විදිහ ඒක වුනා ..
ඉණෙන් පහලට තිබුනු කොණ්ඩෙ බෙල්ල ගාවට කොට වුනෙ එහෙම...මට එදා තමයි තේරුනේ ඇයි ගෑනු ලමයි වේදනාව දරා ගන්න අමාරු වුනහම කොණ්ඩෙ කපන්නේ කියලා...
ඒක එයාටම විතරක් දැනෙන හැගීමක්..මම අදටත් සතියකට වතාවක් මගේ අනිත් රපුන්සල් ගෙ කොණ්ඩෙ හොදට තෙල් ගාලා මසාජ් කරල පීරනවා...
එයත් එහෙමයි...ජීවිතේ දරා ගැනීම සමාන කරන්න පුලුවන් එකම එක කෙස් ගහකට ...
විශ්වාස කරනවද ඒ කතාව ..
●janje
YOU ARE READING
එකෝමත් දවස්
Short Storyඅවුරුද්දකට දවස් තුන්සිය හැට පහක් කියලා දන්නවා වුනාට මට දැනගන්න ඕන උනත් දැනගන්න විදිහක් නෑ මම ජීවත් වෙන අවුරුදු ගාන ... ඒත් දවස් තුන්සිය හැට පහ තුල තියෙනවා මම මැරෙන දවස් මම ඉපදෙන දවස් " මම ජීවත් වෙන දවස්...." ඒවා එකෝමත් දවස්... -___________...