ඒක සිද්ධ වුනේ
මහ කඨෝර කාලයක් මැද ...
හුගක් විපර්යාස වෙලා කවමදාවත් නැතුව දරා ගැනීම ශුන්ය වුන කාලයක
මට සිද්ධ වුනා ඒ පුංචි ගෙදර පදිංචියට
එන්න ....මට මතකයි අම්මා මාවත් එක්කගෙන ඒ ගෙදර බලන්න ගිය පලමු දවස ..
දැක්ක ගමන් මට හිතුනේ මේ මොන පිස්සු විකාරයක් ද කියල..
හේතුව වාහන සද්ද බද්ද තියා වැඩිපුරම මිනිස්සු යන පාරකටවත් මම කැමති නොවීම ..ඒක තිබුනේ ප්රධාන පාරකට මුහුණලා වෙනකොට මගේ හිත හුගක් දෙස් දෙවොල් තිබ්බා...
උදේ හතරේ ඉදන් රෑ නවය වෙනකන් එකදිගට බස් පෝලිමේ යන බලන් ඉන්න හැම විනාඩියක ම අඩුම තරමේ වාහන දහයක් වත් එහාට මෙහාට යන පාරක් අයිනේ ගේක ඉන්න හිත හදා ගන්න මට සිද්ධ වුනා ...උඩට නගින්න තිබුන ගල් පඩිපෙල වැහි කෝඩෙකට හෝදන් යන්න නොදී රැකගත්තේ දණහිසටත් වඩා උඩ තණකොල යායක් .ගහකට කියල පොඩි වත්තටම තිබුනෙ අඹ ගහකුයි පේර ගස් දෙකක් විතරයි. මම එනකොට මල් හැදිල තිබුනේ පාර පුරා අරක්ගෙන පැතිරිලා ගිය කොබොලීල ගහක විතරයි. ඒක ඇරැනු කොට මල් නොහැදුනු ගැටපිච්ච පදුරක් යම්තම් දලු දාපු වතුසුද්ධ පදුරක් එක්ක කැලෑවට ගිය කහමල් ගහක් විතරයි.
අවුරුද්දකට කිට්ටු වෙන්න මනුස්ස වාසයක් නොතිබුනු ගේ දිහා මම බැලුවේ තවත් අමුතුවෙන් මුකුත් වෙන්න දෙයක් නෑ කියල විතරයි.
පොඩි ඍජුකෝණාස්රාකාර සාලයෙ තියන්න පුලුවන් උපරිම පුටු පහයි පොඩි මේසයයි. එතනින් පස්සෙ සාමාන්යයෙන් ටිකක් ලොකු කෑලි තුනකට ගෙය බෙදිලා තිබුන. පලවෙනි කෑල්ල මගේ කාමරයටත් දෙක අම්මටත් වෙන් වුනහම ඉතුරු කටු සිමෙන්තියෙන් හදපු කෑල්ල අයිති වුනේ කුස්සියට.
දොරවල් පියන් නැති ව ඉස්සර තාලෙට හදපු ගෙයක් වුනු ඒක මගේ කාමරේ හැම දේම එක එල්ලේ තියෙන ලොකු පලල් දොරෙන් පාරට පේන එක මට ඉවසුම් නැති වුනා .
අම්මගේ කාමරේට ජනේලයක් නොවුන හන්දම දවස තිස්සේ ලයිට් දාගෙන පොත් ගොඩක වැඩ කරන එක නුවණට හුරු නැති හන්දා මම ඒ කාමරය තෝර ගත්තේ නෑ ...බිත්ති වල ගාපු හුණු දියවෙල ඒ බිත්ති තිබුනේ තැනින් තැන කලු දුඹුරු පාටකින්. එක පිට එක පිට මගෙ අතින් වුනු වැරදි ගොඩකින් දරැණුවටම දුක් වින්ද අම්ම එක්ක තව පාරක් මේ ගේ වෙනුවෙන් රණ්ඩු ඇදගන්න මට ඕන කරේ නෑ ...
YOU ARE READING
එකෝමත් දවස්
Nouvellesඅවුරුද්දකට දවස් තුන්සිය හැට පහක් කියලා දන්නවා වුනාට මට දැනගන්න ඕන උනත් දැනගන්න විදිහක් නෑ මම ජීවත් වෙන අවුරුදු ගාන ... ඒත් දවස් තුන්සිය හැට පහ තුල තියෙනවා මම මැරෙන දවස් මම ඉපදෙන දවස් " මම ජීවත් වෙන දවස්...." ඒවා එකෝමත් දවස්... -___________...