"අද රෑට පානුයි, පරිප්පුයි, පොල් සම්බෝලයි. පරිප්පු, සම්බෝල දිහා හැරිලා වත් බලන්න එපා හොඳද. බටර් හරි ජෑම් හරි එක්ක කන්න"
මං මේ අක්කුවා දාපු අගක් මුලක් නොතේරෙන මැසේජ් එක දහවෙනි පාරටත් කියවන ගමන්. පානුයි, පරිප්පුයි, පොල් සම්බෝලයි ගැන මට කියන්නේ ඇයි. වෙච්ච දේ නිසා මගේ වස්තු කැටේට පිස්සු හැදිලද දන්නෙත් නෑ. ආයෙත් ඒකට මැසේජ් එකක් වත් දාන්න සිහියක් නැතිව මං පුප ඉරාගෙන කල්පනා කර කර හිටියා......
"මොකක්ද මේ, වැරදිලාද එව්වේ"
කල්පනා කරලා බැරිම තැන ඇහුවා ඉතින්.....
"මේ මට එහෙම වරදින්න විදියක් නෑනෙ සුදු මහත්තයා. පණ්ඩිත නොවී කිව්ව දේ කරන්නකො. හැබැයි ඉතින් පරිප්පුවයි පොල් සම්බලෙයි නිසා වැඩේ පාවල දුන්නොත් අපේ සම්බන්දෙත් අදින් ඉවරයි කියලා හිතා ගන්න"
මුගේ ගණන් යකෝ. මදැයි පාන් එක්ක පරිප්පු, පොල් සම්බෝල කන්න ආසාවෙන් හිටියා. ඇත්තටම මගෙ හාවට පිස්සුද එහෙමත් නැත්නම් මුගේ ළඟින් ගියොත් ඇහැක් නැති තවත් වැඩක්ද මන්දා. දැන් ඉතින් බටර් හරි ජෑම් එක්ක හරි පාන් කාපන්කො..... ඊව්......
"සුදු අයියෙ ඔයාට කෑම කන්න එන්න කිව්ව"
සුදු මල්ලි ඇවිත් එහෙම කියන් ඇදෙන් ඉඳ ගත්ත. අද මොකද දන්නෙ නෑ කෑම කාමරේට එවන්නේ නැතුව එන්න කියන්නේ. මං හෙට යන නිසා වෙන්න ඇති.
"අයියටත් එන්න කිව්වද"
"ඔව්. මං එයාටත් කියල ආවේ මේ....... ඇත්තටම ඔය දෙන්න ලව් ද හලෝ. බය වෙන්න එපා මං ෆුල් සප් එක දෙන්නම්. ඔයා තමයි මගේ ලොකු මස්සිනා කොහොමත්"
"අපේ පරම පිවිතුරු ප්රේම පුරානෙට කාගෙ හෝ ඇස් වහක් වැදුන බං"
"සැක්..... සෙල් ලිපියක් කියෙව්ව වගේනේ බං අයියෙ. යමු යමු කන්න. පාන් ගෙඩියෙ අයිනෙ පැති ටික කොහොම හරි පිඟානට දා ගන්න ඕන කෝම හරි., කොහොමද පරිප්පුයි, පොල් සම්බෝලයි එක්ක අයින් පෙති ටික කර කර ගාලා හැපෙද්දි"
අයියෝ කට වහන් හිටපිය පොඩි එකෝ. ඕවා ඇහෙද්දි වාවන්නේ නෑ මට.
සිඳුගෙ පස්සෙන් කෑම කාමරේට යද්දි හැමෝම ඇවිත් ඉඳන් ඉන්නවා. හාවත් හිටියෙ මූණ කොටියෙක් වගේ කරන්. මේකගේ ඇන්ග්රි මූඩ් එක ඔක්කෝටම වඩා ලස්සනයිනෙ යකෝ....