මර්ලින්ගේ පිස්සුව - 3 වන කොටස

429 45 14
                                    

මර්ලින්ගේ නිවස, සාලය

ආතර් හා මර්ලින් නිවසට ඇතුලු වෙයි. ආතර් දොර වසා ඔහු අත තිබූ බෑග් සියල්ල පසෙකින් තබා මර්ලින් දෙස බලන්නේ කිසිදු වචනයක් පවා නොකියමිනි.

ආතර් මර්ලින් දෙස බලන්නේ ඔහු තුළ තිබූ කේන්තිය පවා ඉවසමින් අනුකම්පාවෙනි. මර්ලින්ට කුමක් හෝ සිදුවී ඇති බව ඔහුට වැටහී තිබේ.

ආතර්: මර්ලින්... මොකක්ද ඒ උනේ? ඔයා කිවුවා ඔයා දැක්කේ මෝඩ්‍රඩ්මයි කියලා. සමහර විට ඔයාට හිතෙන්න ඇති ඒ මිනිහා මෝඩ්‍රඩ් වගේ කියලා. ඔයා හරියට ඒ මනුස්සයව දකින්නෙ නැතුව ඇති.

මර්ලින්: මම දන්නෙ නෑ. ඒත්... එයා මෝඩ්‍රඩ්ම තමයි. මම දැක්කේ ඒ විදිහටමයි.

ආතර්: ඒත් ඒ මෝඩ්‍රඩ් නෙමේ.

මර්ලින්: මම දන්නව. ඒත් මම ඌවමයි දැක්කේ.

ආතර්: එතකොට? මොකක්ද? ඔයා එක එක දේවල් දකිනවා. මේ අද වෙච්ච දේ නිසා මට පේන්නෙ මර්ලින්, ඔයාට පිස්සු හැදීගෙන එන්නෙ.

මර්ලින්: (ආතර්ව නවත්වමින්) මට පිස්සු නෑ....

ආතර් මර්ලින්ගේ කෑගැසීම නිසා මදක් බියට පත් වෙයි. සිදුවෙන්නේ කුමක්ද කියා ඔහුටවත් තේරුම් ගැනීමට නොහැකිය.

ආතර්ගේ බියමුසු හැසිරීම නිසා මර්ලින්ට තමන් කල වරද වැටහී ඔහු ආතර් ඉදිරියේ ගෞරවාන්විතව බිම බලාගනී.

මේ දේවල් කෙසේ විසදාගත හැකිද යන්න දෙදෙනාම මොහොතක් කල්පනා කලත් එයට ඔවුන්ට කිසිදු අදහසක් නොමැත. මොහොතකින්... මර්ලින් ඔහුගේ සැරයටියද රැගෙන දොර දෙසට යයි.

ආතර්: මොකක්ද ඔය කරන්නේ?

මර්ලින්: මට මාළිගාව සුද්ද කරන්න තියෙනවා. අපි දැන් යන්න ඕනේ.

ආතර්: (අදහාගත නොහැකිව) මොකක්? නෑ. ඔයා කොහෙවත් යන්නෑ. ඔයා කැම්ලොට් වලට යන්න පුලුවන් තත්වෙක නැහැ.

මර්ලින්: මම හොද තත්වෙක ඉන්නවා. කලිනුත් මට මාළිගාව සුද්ද කරන්න් බැරි උනා.

මර්ලින් දොර අරී.

ආතර්: මම ඔයාට එලියට යන්න තහනම් කරනවා.

මර්ලින්: (හැරෙමින්) ඔයාට බැහැ එහෙම කරන්න..

ආතර්: මමයි ඔයාගෙ රජතුමා. අනික මම කීපාරක් කියන්න ඕනෙද මට ඕනෙම දෙයක් තහනම් කරන්න පුලුවන් කියලා. මර්ලින් ඔයාට අසනීපයි. තර්ක කරන්නේ නැතුව ඉන්න.

මර්ලින්: මට ඕනෙ මාළිගාව සුද්ද කරන්න. එච්චරයි.

ආතර්: කවුරුහරි කෙනෙක් මාළිගාවෙ ප්‍රධාන චතුරස්‍රෙදි අර මිනිස්සු සේරම මරලා දාලා. උන් දන්නවා මම ආයෙ ඇවිත් කියලා. උන් හොයනවා.

මර්ලින්: ඒත් උන්ට බැරි උනා අපිව මාළිගාවෙදි හොයා ගන්න. ඒ හින්දා උන් ආයෙ එහෙ හොයන එකක් නැහැ.

ආතර්: මේ අහගන්න... හරි... ඔයා මාළිගාව සුද්ද කරන්න, මර්ලින්, ඒත් මම ඔයා එක්ක එන්නෙ නැහැ.

මර්ලින් ආතර් දෙසත් ඇරදමා ඇති දොර දෙසත් බලයි.

මර්ලින්: මෙහෙම කරන්න එපා...

ආතර්: මර්ලින්. ඇයි ඒක පස්සෙ කරන්න බැරි?

මර්ලින්: (බලාපොරොත්තු සුන්ව) මට කරන්න ඕනේ.... එච්චරයි....

ආතර්: ඇයි?

මර්ලින්: ඒක මගේ රාජකාරිය නිසා.

ආතර්: ඇයි ඒක මේ තරම්ම වැදගත්.

මර්ලින්: (ශබ්දය උස් කරමින්) මම දන්නේ නැහැ...

මර්ලින් තදින් දොර වසා ඔහුගේ සැරයටියද පසෙකට විසිකර දමන්නේ නොසන්සුන්වය. ඔහු නළලට අත තබාගෙන කල්පනා කරන්නේ ඔහුගේ හිසෙහි වූ තද වේදනාවද දරාගෙනය.

ආතර්: මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ මර්ලින්?

මර්ලින්ට එයද තේරුම් කිරීමය නොහැකිය. ආතර්ද මෙම ප්‍රශ්නය නිසා දැඩි ලෙස සිතින් වෙහෙස වී සිටින අතර මර්ලින්ද මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට නොහැකි තරමටම වෙහෙසට පත් වී සිටී.

ආතර්: දැන් එන්න එන්නම රෑ වෙනවා. ඔයා විවේකයක් ගන්න ඕනෙ මර්ලින්. මම දන්නවා ඔයා ඊයෙ රෑ නිදාගත්තේ නැහැ කියලා.

මර්ලින් නිශ්ශබ්දවම ඔහුගේ කාමරය වෙත ගොස් දොරවසාගද්දීම ආතර් සුසුමක් ලමින් ගොස් සෝෆාව මත වාඩි වෙයි.

රජමාළිගය

මර්ලින් තම රාජකාරි අවසන් කොට ඉක්මනින්ම ගයස්ගේ නිවස දෙසට යයි. ඔහු ආතර්ගේ මරණයෙන් පසුව මේ තරම් කාර්‍යබහුලව වූ පළමු අවස්ථාව මෙයයි. මර්ලින් ගයස්ගේ නිවස දෙසට යද්දී ඔහු දකින්නේ නිවසේ දොර ඉදිරියේ සිටින පර්සිවල් වය. මර්ලින් ඔහු අසළින් නවතී.

මර්ලින්: පර්සිවල්. මගෙන් උදව්වක් ඕනෙද?

පර්සිවල්: අපි ඔයාව හැමතැනම හෙව්වා. කවුරුත් ඔයා කොහෙ ඉන්නවද කියලා දැනගෙන හිටියේ නැහැ.

මර්ලින්: මෙහෙමයි. රාජකීය මායාකාරයා විදිහට මට පැවරිලා තියන රාජකාරි එක්ක මම කොහොමත් එක තැනක ඉන්නෙ නැහැ. මම හිටියේ මගේ අලුත් ශිෂ්‍යයා එක්ක. මොකක්ද ප්‍රශ්නේ?

පර්සිවල්: (දුක්බරව) මර්ලින්, ගයස් අසනීපෙන්...

මර්ලින්: (උවමනාවෙන්) මොකක්ද? අසනීපෙන්?

පර්සිවල්: ඔව්, උණ සෙම්ප්‍රතිෂ්‍යාව එක්ක ගොඩක් අමාරුවෙන් ඇදේ ඉන්නේ. මේක නිකන් අසනීපයක් නෙමෙයි මර්ලින්. මට හිතෙන විදිහට මේක ගයස්ට ගොඩක් කාලයක් තිස්සේ තිබිලා තියෙනවා.

මර්ලින්: (බියෙන්) මොකක්ද කියන්නේ? එයාට ගොඩක් අමාරුද?

පර්සිවල්: මර්ලින්...

නැත... මෙය කිසිසේත්ම සිදු නොවිය යුතුය. මර්ලින් නිවස තුළට යා යුතුය. මේ සිදුවන්නේ වැරැද්දකි. ගයසුත්... නැහැ... ගයස්ට කිසිදා අසනීප නොවෙයි. අසනීප වූවන්ට පිහිට වන්නා ඔහුය. ඔහු සෑම කෙනෙක්වම සනීප කරවන්නාය. ජීවිත කාලය පුරාවටම තම ජීවිතයේ පූර්ණ කාලය වැය කරමින් අනුන්ගේ අසනීප සමග සටන් කළ ඔහු දැන් අසනීපයක් වැළදී මරණාසන්නය.

පර්සිවල්: ඔයා ඇතුළට ගියොත් හොදයි මර්ලින්. අපි දන්නෑ එයා කොච්චර වෙලාවක් ඉදීද කියලා...

මර්ලින් දොර ඇරගෙන ගයස් දෙසට යන්නේ අප්‍රාණිකවය.

ගයස් ගේ නිවස

ලියොන් කාමරයේ සිටින්නේ පසෙකින් සිටගෙනය.  ග්වෙන් ගයස්ගේ ඇඳ අසල පුටුවක වාඩි වී සිටී.  ඇය පිටුපස හැරී බලන විට මර්ලින් හා පර්සිවල් ඇතුළුවනු දකී, ඇය මුලින්ම දකින්නේ  සිත් තැවුලට පත් මර්ලින්ගේ මුහුණය. ඈ අනුකම්පා සහගත බැල්මක් හෙලා නැගිට මර්ලින්ගේ උරහිසට තට්ටුවක් දමා ලියෝන් හා පර්සිවල් සමගින් පසෙකට යයි.

මර්ලින්ට දැන් ගයස්ව හොදින්ම පෙනේ. මර්ලින්ගේ අඩි ශබ්දය ඇසීම නිසා ගයස් අපහසුවෙන් කෙදිරිගාමින් ඒ දෙසට තම හිස හරවයි.

ගයස්: (අපහසුවෙන්) මර්ලින්...

මර්ලින් පුටුව පසෙකට දමා ගයස්ගේ ඇඳ අසළ දණගසාගනී.

මර්ලින්: මම ආවා ගයස්. මෙයාලා කිවුවා ඔයාට අසනීපයි කියලා. මොකද අව්ල?

ගයස්: කිසිම අව්ලක් නැහැ මර්ලින්. මේක මගේ වයසේ ඕනෙම කෙනෙක්ට සාමාන්‍ය දෙයක්.

මර්ලින්: නැහැ ඔහොම ඉන්න. මට පුලුවන් ඔයාව බේරගන්න. මම ඒක කරනවා.

මර්ලින් ඔහුගේ දෑත් ගයස්ගේ පපුව මත තබා දෑස් පියාගන්නේ සුවකිරීමේ මන්තරයක් මැතිරීමට සූදානම් වෙමිනි.

ගයස්: නැහැ මර්ලින්. (මර්ලින්ව නැවැත්වීමට මර්ලින්ගේ එක් අතක් අල්ලාගනිමින්) මට ඉතුරුවෙලා තියන ටික වෙලාව නාස්ති වෙන්න දෙන්න එපා මර්ලින්. මම කියන දේ අහගන්න හොදින්.

මර්ලින් ඔහුගේ හිස දෙපසට වනන්නේ ගයස්ට එකඟ නොවෙමිනි. මේ ටික කාලයට ඔහුට ගොඩදෙනෙක්ට සමුදීමට සිදුවිය. ඔහු මෙයට සූදානම් නැත. මර්ලින්ගේ උගුරද වියළී ගොසිනි. ඔහුට කතා කරගැනීමට පවා නොහැක.

ගයස්: මම කැමතී ඔයා මේක දැනගන්නවට... මම ඔයා එක්ක ගතකරපු ඒ කාලය තමයි මර්ලින් මම මගේ ජීවිතේ ගොඩක්ම සතුටු උන කාලය. ඔයා තමා මෙච්චර කාලෙකට මම දැනගෙන හිටපු ශ්‍රේෂ්ඨ ම පුද්ගලයා මර්ලින්.

මර්ලින්: (හැඟීම්බරව) ඔයාට මැරෙන්න බැහැ. මට ඔයාගෙන් තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා.

ගයස්: මම විශ්වාස කරන්නෙ නැහැ ඒක. මම දන්නෙ නැහැ ඔයාට මේක දැනුනද කියලා. ඒත් ඔයා මගෙන් ඉගෙනගන්න එක නැවතිලා ගොඩක් කල්. ඒ කාලේ ඉදන්ම මමයි ඔයාගෙන් ඉගෙනගත්තේ මර්ලින්.

මර්ලින්: ඒත් මගේ මායාව... මගේ නපුරු සිහින...  මට ඔයා නැතුව ඒ දේවල් පාලනය කරන්න බැහැ.

ගයස්: මං දිහා බලන්න මර්ලින්... ඔයා හිතනවාටත් වඩා බලයක් ශක්තියක් ඔයා තුළ තියෙනවා.

මර්ලින්: ඒත් ඔයා නැතුව මම මොනවද කරන්නේ?

ගයස්: (අපහසුවෙන් සිනහවක් පාමින්) ඔයා මාව ආඩම්බර කරාවි මර්ලින්. හැමදාමත් කලා වගේම ඉදිරියටත්.

මර්ලින්ගේ දෑසින් කදුළු කඩාහැලෙන්නේ ඔහුටත් නොදැනුවත්වමය. මෙය කිසිසේත් සිදුනොවිය යුත්තකි. මන්ද ඔහු හට දැන් ඉතිරිව ඇත්තේ ගයස් පමණි.

මර්ලින්: මම හිතන්නේ නැහැ මට ඒක කරන්න පුලුවන් වෙයි කියලා ගයස්. මම කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ...

ගයස්: (අමාරුවෙන්) ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මර්ලින්... මුලින්ම හුස්ම ගැන හිතන්න... ජීවිතය රැදිලා තියෙන්නේ එතනයි.

මර්ලින්: මට බැහැ...

ගයස්: හුස්ම ගන්න මර්ලින්... හුස්ම ගන්න...

ගයස් මර්ලින්ගේ අත දැඩිව අල්ලා සිටියත් ඒ මොහොතේදී ගයස්ගේ අත මර්ලින්ගේ අතින් බුරුල් වී වැටෙයි. ගයස්ගේ අවසන් හුස්ම ඔහුගේ දෙතොල් අතරින් ගිළිහී යයි.

මර්ලින්: (භීතියෙන්) නෑ..... නෑ......

මර්ලින් ඔහුගේ කදුළු නවත්වාගැනීමට උත්සාහ කළත් ඒවා නොනවත්වාම ඔහුගේ දෑසින් කඩාහැලෙයි. මර්ලින් ගයස්ගේ නිශ්චල සිරුරට අත තබා සොලවන්නේ ගයස්ව ඇහැරවීමටයි. එනමුත් පළක් නැත.

ලියෝන්: (පර්සිවල්ට) මාළිගයට දන්වන්න. ගයස්.... මියගිය බව....

ගයස් යනු කැම්ලොටයට මග පාදන උතුරු තරුවයි. කැමලොටය, ඇල්බියන් දේශය මුලු ලොවටම ගයස් මහඟු සේවයක් ඉටුකර ඇත. ඔහු නොමැතිව කුමක් කරන්නද? දැන් ඔහු මියගොසිනි. එය හරියට ලෝකය අවසන් වී ඇත්තාක් මෙනි.

ඔව් ඇත්තෙන්ම... ලෝකය අවසන් වී ඇත...

ටිකෙන් ටික මර්ලින් ඔහුගේ හිස ඔසවයි. ඔහුගේ ඇස් රන් පැහැයෙන් දිළිසෙයි. ඔහු එක්වරම කෑගසන්නේ තම හිතේ ඇති කේන්තිය දුක සියල්ලම පිටකරමිනි. ඒත් සමගම කාමරයේ ඇති ජනේල සියල්ල වීදුරු සියල්ල මහ හඬ නගමින් පුපුරා යයි.

ග්වෙන් තම මුහුණ වසාගන්නේ විසි වූ විදුරු කැබළි වලින් ආරක්ෂා වීමටයි. පර්සිවල් හා ලියෝන් මර්ලින් දෙසට යන්නේ ඔහුව නැවැත්වීමටයි. එහෙත් මර්ලින් ක්ෂණයකින් නැගිට එතැනින් පිටවයන්නේ ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි වේගයකිනි.

මර්ලින් දිව යන්නේ අශ්වගාල වෙතටයි. නයිට්වරයෙකුගේ අසු පිට ක්ෂණයකින් නැගි ඔහු අසුව ඉදිරියට ගෙන යන්නේ ඉතා වේගයෙනි.ඔහු අසුව කැලය මැදින් පදවාගෙන යන්නේ පිස්සුවෙන් මෙනි.

ඇවලොන් විල.

අශ්වයා නැවතීමටත් පෙර මර්ලින් අසුපිටින් බැස ඇවලොන් විල දෙසට දිව යන්නේ වේගයෙනි.

මර්ලින්: (කලබලෙන්) ආතර්. ලෝකය අවසන් උනා ආතර්. ඔයාට ආයෙ එන්න පුලුවන් නේ. ආතර්ර්....

මර්ලින් ඔහුගේ දණක් ගාවට ජලය එන තුරුම විල.දෙසට දිව යයි.

මර්ලින්: (කෑගසමින්) ඇල්බියන් දේශයට ඔයාව අවශ්‍යම මොහොතෙදි ඔයා එනවා කියලා කිවුවා. දැන් ඔයාව අවශ්‍යම මොහොතයි මේ. ආයෙ එන්න... කරුණාකරලා ආයෙ එන්න...

මර්ලින් ඔහුගේ හුස්ම නවත්වාහෙන ඇවලොන් විල දෙස බලා සිටින්නේ ආතර්ව බලාපොරොත්තුවෙනි.

මර්ලින්: මම මොකක්ද කරන්න ඕනේ? මට කියන්න... මම ඕනෙම දෙයක් කරන්නම්... මට කියන්න මම මොකක්ද කරන්න ඕනෙ කියලා...

මර්ලින් තවමත් ඇවලොන් විල දෙසම බලා සිටී. කිසිදු වෙනසක් නැත. ඔහු සෙමින් සෙමින් නැගිටී. අදුරුසහගත බවක් ඔහුගේ මුහුණේ ඇත

මර්ලින්: (සෙමින්, අදුරුසහගතව) එහෙනම් එහෙමද ආතර්? "ලොවට මෙතෙක් පහළවුණු ශ්‍රෙෂ්ඨතම මායාමාරයා" මම මගේ බලය ලෝකයට විරුද්ධව පාවිච්චි කරන්නද ඕනේ? එහෙම කරලා ඇල්බියන් දේශයට ඔයාව අවශ්‍යම කරන්නද ඕනේ? එතකොටවත් ඔයා ආයෙ එයිද? ඒකද මම කරන්න ඕනේ???

ඔහු කියූ දෙය වැටහුණු නිසා ඔහු එක්වරම නවතී. ඔහු ඔහුගේ හිස දෙපසට වනන්නේ ඔහුගේම වදන් වලට එකඟ නොවෙමිනි. ඔහු සෙමින් සෙමින් විලේ ඉවුර දෙසට ඇවිද යයි.

මර්ලින්: (සෙමින්, බිහිසුණුව) මට මොකක්ද මේ වෙන්නේ?

මර්ලින් වටපිටාව දෙස බලයි. ඔහුගේ අශ්වයාද පෙනෙන තෙක් මානයක නැත. ඔහු එක්වරම දණින් වැටෙන්නේ ඔහුගේ දෙපා පණ නැති වීම නිසායි.

මර්ලින්: ආතර් ඔයා ආයේ එන්නම ඕනේ. සර් ග්වේන් මැරුණා, මගේ අම්මා මැරුණා, ගයස්, කිල්ගාරා ඒ හැමෝම මැරුණා. (මොහොතක් නිශ්ශබ්දව) ඔයා ආයෙ එන්න නැත්තන් කරුණාකරලා මාව ඔයාගේ ලෝකෙට ගන්න...

මර්ලින් සිටින්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි. ඒත් කිසිදා ලැබෙන්නේ නැත. ආතර් නැවත පැමිණ නැත.

මර්ලින්ගේ නිවස, සාලය.

අතර් මර්ලින්ගේ සෝෆාව මත වැතිර සිටී. මර්ලින්ගේ කාමරයෙන් ශබ්දයක් ඇසුණු නිසාවෙන් ඔහු හිස හරවා ඒ දෙස බලයි.

ආතර්: මර්ලින්?

පිළිතුරක් නොලැබුණු නිසාවෙන් ඔහු නැගිට මර්ලින්ගේ කාමරය දෙසට යයි.

මර්ලින්ගේ නිවස, නිදන කාමරය

ආතර් මර්ලින්ගේ කාමරයේ දොර ඇරගෙන ඇතුළට එයි.

එනවිටම ඔහු දකින්නේ ඇදෙහි පසෙක බිම වැටී සිටින මර්ලින්වය. ආතර් මර්ලින්ගේ උරහිසින් අල්ලා ඔහුව අනෙක් පසට හරවන්නේ ඔහුගේ මුහුණ උඩට සිටින පරිදිය. ඔහුගේ මුළු ඇගම සුදුමැලි වී ඇති අතර ඇස් වටාද කලුපැහැ ගැන්වී ඇත. මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ?

ආතර්: මර්ලින්...  (මර්ලින්ගේ මුහුණට තට්ටු කරමින්) මර්ලින්... මොකද මේ?

මර්ලින් ඔහුගේ ඇස් ඇර හිස සෙමින් සෙමින් ඔසවයි.

මර්ලින්: (මුමුණමින්) හලෝ ආතර්...

ආතර්: මර්ලින්... මොකද උනේ?

මර්ලින්: මාව වැටුණා.

ආතර්: ඇයි? ඔයා මොකද කර කර හිටියේ?

මර්ලින්: (හිරි අරිමින්) මම නිදාගන්නේ නැතුව ඉන්න හැදුවේ.

ආතර්: ඒ මොන මගුලකටද?

මර්ලින් පිළිතුරක් දුන්නේ නැත.  ආතර් ඔහුව නැගිටුවා ඇද මතින් තබා බ්ලැන්කට්ටුවක්ද පොරවන්නේ මර්ලින්ගේ නින්දට පහසුවක් වෙන පරිදිය. ඉන්පසුව ඔහු පුටුවක් ඇද මර්ලින්ගේ ඇද අසළින් තබාගනී.

මර්ලින්: මට නිදාගන්න බැහැ. ඒක ඔයාට ආරක්ෂිත නැහැ.

ආතර්: ඒ මොකක් නිසාද?

මර්ලින් ඉන්පසුව කතා කලේ නැත. ඔහුට මහන්සිය හේතුවෙන් නින්ද ගොස් ඇත.

ආතර්ටද මේ දේවල් නිසා අපහසු වූවත් ඔහු මේ රැයේ මර්ලින් අසළින් සිටිය යුතුමය. මර්ලින් මෙතරම් කලක් ඔහු වෙනුවෙන් කැප කළ නිසාවෙන් ආතර් කෘතගුණ සැලකිය යුතුව ඇත.

ආතර් එතන ඉදගෙන ඉද්දී ඔහු කාමරයේ වටපිටාව බලයි. මේසය මත මලානිකව දැල්වෙන ඉටිපන්දමකි. තව හිස් වතුර වීදුරුවක්ද ඇත. කාමරයේ ජනෙල් පඩිය මත හිස් කෝපි කෝප්පයකි.

මර්ලින් සෙමින් සෙමින් යමක් මුමුණයි. ආතර් මර්ලින්ට ළං වන්නේ ඔහු මුමුණන්නේ කුමක්දැයි පැහැදිළිව ඇසීමටයි.

මර්ලින්: නෑ... නෑ...

යමක් සෙළවෙන ශබ්දයක් ඇසෙයි. ආතර් බලන්නේ ජනේලය දෙසය. කෝපි කෝප්පය සෙළවෙයි. මෙය අමුතුය.

සාලයෙන්ද අමුතු ආකාරයේ ශබ්ද ඇසෙයි. ඔහු පසුපස හැරෙන්නේ සිදුවන්නේ කුමක්ද කියා දැනගැනීමටයි. එහි නිවාදමා තිබූ ලයිට් සියල්ලම නිවි නිවී දැල්වෙයි.

මොකක්ද මේ වෙන්නේ?

එක්වරම ජනේලය මත තිබූ කෝපි කෝප්පය පුපුරා යයි.

ආතර්: මොන මගුලක්ද?

මර්ලින් ඔහුගේ ඇදේ ඒ මේ අත ඇඹරෙමින් දගලමින් සිටී. ඔහුගේ ඇස් බාගෙට ඇරෙද්දී ආතර්ට පෙනෙන්නේ ඒ ඇස් රන් පැහැයෙන් දිළෙන ආකාරයයි. ඔහු නින්දෙන් මායාව සිදුකරයි.

ආතර්: ඕහ් මර්ලින්...

එක්වරම මර්ලින්ගේ සිවිලිම් ෆෑන් එකේ කැඩුණු කොටසක් පා වී ගොස් කැරකෙයි.

ආතර්: මොන මගුලක්ද ඔයා ඔය කරන්නේ?

එක්වරම කාමරය දැඩි සීතලකින් වෙළෙයි. ජනේලය මතද අයිස් බැදෙද්දී ආතර්ට ඔහුගේම හුස්ම පෙනීමට පටන් ගන්නේ එහි ඇතිවූ අධික සීතල නිසාවෙනි.

ඩෝං ඩෝං..... නිවසේ තිබූ දොරවල් සියල්ල සහ මර්ලින්ගේ ඇදුම් අල්මාරියේ දොරද මහ හඩ නගමින් ඇරීමට හා වැසීමට පටන් ගනී. ආතර් මර්ලින් ව සොලවයි. ඔව්, මේ තමයි මේ මායාකාරයාව නින්දෙන් ඇහැරවීමට හොදම වෙලාව.

ආතර්: හරි මර්ලින්, ඔයා මේ දැන්ම නින්දෙන් ඇහැරෙන්න ඕනේ.

මර්ලින් තවමත් අමුතු වචන මුමුණමින් සිටී. ආතර්ගේ කඩුව තිබූ තැනින් පාවී විත් මර්ලින්ගේ ඇදට ඉහළින් ඇති බිත්තියට වදින්නේ විදුළි වේගයෙනි.

ආතර්: මර්ලින්... නැගිටින්න...

මර්ලින්ගේ හිස දෙපසට වැනෙයි.

ආතර්: නැගිටින්න මර්ලින්...

ආතර් මේසයට පහළින් තිබූ වතුර වීදුරුව ගෙන මර්ලින්ගේ මුහුණට වතුර හලන්නේ ඔහුව ඇහැරවීමටයි. එක්වරම මහ හඩ නගමින් තිබූ දොරවල් නැවතී ලයිට් සේරම නිවී කාමරයේ අධික සීතලද නැති වී යයි. ඒ සියල්ල අවසන් ය. මර්ලින් අවධි වෙයි.

ආතර්: හරි මර්ලින්. ඒ සේරම හරි....

මර්ලින්: (භීතියෙන්) මොගානා... ඔව් මොගානා...

ආතර්: එයා මෙතන නැහැ. මෙතන ඉන්නේ අපි දෙන්නා විතරයි.

මර්ලින්: ඒත් මොගානා....!

ආතර්: මොගානා මියගිහින් මර්ලින්. හොඳද? අපිට හානියක් කරන්න ඕනෙ කිසිම කෙනෙක් දැන් නැහැ. මෙතන ඉන්නේ අපි දෙන්නා විතරයි. ඔයයි මායි විතරයි.

මර්ලින් දැන් කෙමෙන් කෙමෙන් යථාතත්වයට පත් වෙයි. ආතර්ද එසේමය.

කාලය ගෙවී යයි. මර්ලින් දැන් යථාතත්වයට පත් වී ඇත.

ආතර්: ඉතින් (එක්ස්කැලිබර් අසිපත බිත්තියෙන් අදිමින්) නපුරු හීන? ඔයා නින්දට යන හැමවෙලාවටම එහෙම වෙනවද?

මර්ලින්: (සෙමින්, තවමත් වෙව්ලමින්) සමහර වෙලාවට.

ආතර්: එහෙම වෙනකොට... ඔයාගෙ මායාව - ඒක පිස්සුවක් වගේ වෙනවා. ඒ නිසාමද ඔයා ඇහැරිලා ඉන්නම උත්සහ කරන්නේ? මට කරදරයක් නොවෙන්නද? (මර්ලින් නිශ්ශබ්දය) ඇයි ඔයා මට නිකමටවත් කිවුවෙ නැත්තේ?

මර්ලින්: මම කැමති නැහැ ඔයා දුක් වෙනවට.

ආතර්: මටත් එහෙමම තමයි. මර්ලින් එහෙමයි කියලා නිදා නොගෙන ඉන්න එක හරිද?

මර්ලින්: මම නිදාගන්නවා. මම... මම මට පුලුවන් තරම් කාලයක් නිදා නොගෙන ඉන්නවා. මම සාමාන්‍ය මිනිස්සු වගේ නෙමේ. කලින් පාර මම මාසයක් එකදිගට නිදාගන්නේ නැතුව හිටියා.

ආතර්: මට හිතාගන්න පුලුවන් ඔයාට තියෙන ආතතියේ තරම. මේක නම් විහිලුවක්. ඔයා දැන් නිදාගන්න ඕනේ

මර්ලින්: මෙච්චර කාලයක් තිස්සේ මෙහෙමම තමයි.

ආතර්: (නවත්වමින්) මොකක්ද ඔයා මෙච්චර කාලයක් තිස්සේ කියලා අදහස් කලේ?

මර්ලින්: (සෙමින්) ඔයා ගිය දවසේ ඉදලම...

ආතර්: (කම්පනයෙන්) මම ගියාට පස්සෙ ඉදලම???

මර්ලින්: ඔව්... ඔයාගෙ මරණයෙන් පස්සේ... මම එක මොහොතකටවත් නිදාගත්තේ නැහැ. හදිසියේ හරි මට නින්ද ගියොත්, මගේ මැජික් නිසා එක එක දේවල් වෙනවා. ගිනි ගත්තා. හැම දේම කැඩිලා බිදිලා ගියා. හැමතිස්සෙම මොකක්මහරි අනතුරක් උනා. ගයස්ටත් හොයාගන්න හම්බුණේ ඔයාගේ මරණින් පස්සේ මගේ මායාවට මොකක් හරි වෙලා කියලා විතරයි. මොකක් හරි නිසා ඒක කැඩිලා ගිහින් වගේ.

ආතර්ට දැන් මෙය කෙමෙන් කෙමෙන් වැටහෙයි. ඔහුට මහත් වූ වරදකාරී හැගීමක් දැනෙයි. දැන් ඔහුට පාරේ හමුවුණු මිනිසාව මර්ලින් මෝඩ්‍රඩ් ලෙස දුටුවේ ඇයිද යන්න වැටහෙයි.

ආතර්: හරි. ඒ සේරම දැන් හරි මර්ලින්. ඔයාට ඕනෙනම් ඔයා නිදාගන්න. මම ආරක්ෂාවට ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ.

මර්ලින්: නැහැ ආතර්... ඒකෙන් ඔයාට අනතුරක් වෙන්න පුලුවන්. මම නිසා කලිනුත් ගොඩක් මිනිස්සුන්ට හිරිහැර උනා. ඔයාටත් කරදරයක් වෙනවට මම කැමති නැහැ.

ආතර් විදුලි පහන දෙසට ගොස් එය නිවාදමන්නේ කෙසේදැයි බලයි.

ආතර්: කලින් දවසේ මාළිගාවේ ඉන්නකොට ඔයාට කිසිම නරක හීනයක් පෙනුනේ නැහැ නේද?

මර්ලින්: (ලාම්පුව නැවත දල්වමින්) එහෙම වෙන්නෙ නිල් සදක් තියෙන දවසට විතරයි. මම ඒ වගේ නිදහසේ නිදාගත්ත අන්තිම පාර මට මතකවත් නැහැ.

ආතර්: හොදයි. අද රෑට ඔයා ඒක ආයෙමත් කරයි.

මර්ලින්: (ආයාචනා කරමින්) ආතර්... ඔයා දැන් යන්න ඕනේ.

ආතර්: මම කොහෙවත් යන්නෙ නැහැ.

මර්ලින්: ඇයි ඒ?

ආතර්: මොකද කියනවනම්... මම කැමති නැහැ ආයෙමත් ඔයාට තනිකමක් දැනෙනවට.

මර්ලින් ආතර්ගේ පියා මියගිය අවස්තාවේදී ඔහුට එම වදන්ම පැවසූ ආකාරය ආතර්ට මතක් වෙයි. මර්ලින්ටද ආතර්ගේ කෘතගුණ සැලකීමට කිසිවක් කිව නොහැකිය.

ආතර් නැවතත් ලාම්පුව නිවා දමයි. මර්ලින්ද නැවත ඇදේ හාන්සි වන්නේ මෙවර නම් සැප නින්දක් ලබාගැනීමේ අරමුණිනි.

Merlin Season 06 Script (Sinhala Translation)Where stories live. Discover now