"ආ ඉලන්දාරියාට රස්තියාදු ගහලා ඉවර උනාම මේ අම්මාව මතක් වෙලා තියෙන්නෙ.." මම දොරෙන් ඇතුලට එනවාත් එක්කම අම්මා කියනවා ඇහුණා..
"රස්තියාදු ගැහුවේ නෑ අයියෝ.. මං ගියේ විහස්ලාව හම්බවෙන්න.."
"ඔව් ඔව් හැමදාම එහෙම කියලා කොටු තාප්පෙ උඩට වෙලා කාලෙ කන එකනෙ කරන්නෙ.. අනේ ඇත්තට ගෙදරට වෙලා පොතක් පතක් බලාගන්න බැරි හැටි.. කැම්පස් යන්නෙත් සතියකට දවසක් වගේ.. ඒකත් යනවාද නැද්ද කියලා කවුද දන්නෙ.. මට නම් තේරෙන්නෙ නෑ මේ ළමයාට මොන යකෙක් වැහිලා ද කියලා.." සුපුරුදු විදිහටම අදත් මාව දැකපු ගමන් අම්මාගෙ කියවිල්ල පටන්ගත්තා..
"නවත්තගන්නකො අම්මා.. ඔලුවත් කැක්කුමයි ඔයාගෙ ඔය කියවිල්ල අහගෙන ඉද්දී.." නොරිස්සුමෙන් එහෙම කියපු මං ළඟම තිබුණ පුටුවකින් වාඩි වුණා..
"ඔයාගෙ ඔය ඔලුවෙ කැක්කුම හැදෙන්නේ මම මොනවාහරි කිව්වොත් තමයි.. කාලා ද ඉන්නෙ.." අම්මාට උත්තරයක් නොදීම මම ෆෝන් එක අතට අරන් ගේම් ගහන්න ගත්තා..
"කවලා පොවලා උස් මහත් කරේ මං උනාට මොකද ගතිගුණයි පෙනුමයි දෙකම තාත්තා වගේමයි.." මට ඇහෙන නෑහෙන ගානට මුමුණන ගමන් අම්මා කලබලෙන් කඩේ ඇතුළේ එහාට මෙහාට ගියා..
මගේ අම්මා සුජානි ඉරුගල්බණ්ඩාර.. අම්මා උනාට දකින හැමෝම එක සැරේටම හිතන්නේ ඒ මගේ අක්කා කියලා.. බැලූ බැල්මට අම්මාට අවුරුදු හතලිස් තුනක් කියලා කියන්නත් බෑ.. නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එක ඇදලා කොණ්ඩෙත් උඩට කරලා ගෙඩියක් ගහගෙන මෙහෙම ඉද්දි නම් කොහොමටවත් හිතෙන්නේ නෑ එයාට මං වගේ ලොකු පුතෙක් ඉන්නවා කියලා.. මම දන්නෙ නැහැ අම්මා මට හංගන එයාගෙ ජීවිතේ ඇත්ත කතාව මොකක්ද කියලා.. ඒත් එයාව දැකපු ගමන් ඕනම කෙනෙක්ට තේරෙනවා එයා මෙහෙම දුක් විඳින්න ඕන ගෑනියෙක් නෙමෙයි කියලා..
බස් ස්ටෑන්ඩ් එක උඩ කරගෙන ගිය මේ කෑම කඩෙන් තමයි අම්මායි මායි කාලා ඇඳලා ජීවත් උනේ.. අද වෙනකන් අම්මා මට කිසිම අඩුපාඩුවක් කරලා නැහැ.. එක වේලක්වත් මාව බඩගින්නෙ තියලාත් නැහැ.. ඇත්තම කිව්වොත් පේන්න මහ ලොකු ආර්ථික අපහසුකම් අපට නොතිබුණාත් අම්මා උදේ ඉදන් රෑ වෙනකම් මේ කඩේ ඇතුළේ විවේකයක් නැතුව මහන්සි වෙන එක දැන් මගේ හිතට බරක් වෙලයි තියෙන්නේ.. මට නිතරම හිතුනේ අවුරුදු විස්සක් වෙද්දී අම්මාව බලාගන්න එක මගේ වගකීම වෙන්න ඕන කියලා.. ඒත් එහෙමයි කියලා මට කරන්න ජොබ් එකක් තිබුණේත් නෑ.. මොකද මං අකමැතිම දෙයක් තමයි එක එකා යටතේ වැඩ කරන එක.. කොහොමත් අම්මා මට පොඩි පොඩි රස්සාවල් කරන්න යන්න දුන්නෙත් නැහැ.. එයා හැමදාම කිව්වෙ අනිත් අය මගේ ළඟ ඔලුව නමනවා මිසක් මං කාගෙවත් ළඟ ඔලුව නමන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා.. ඉතිං මට කීයක්හරි හොයාගන්න කියලා අම්මා කරන්න ඉඩ දුන්න එකම දේ තමයි ඒලෙවල් ළමයින්ට ටියුෂන් කරන්න ඉඩ දීපු එක.. ගෙවල් වලට ගිහින් ටියුෂන් කරලා මම මාසෙට හතලිස්දාහක් විතර හෙව්වාත් අම්මා මගෙන් ඒ එක රුපියලක්වත් ගන්න කැමති උනේ නැහැ.. මට කන්න අදින්න දෙන්න එයාගෙ අත පය හතර තාමත් හොදට පණ තියෙනවා කියලා එයා මගේ සල්ලි ආපහු මටම දුන්නා ඉතුරු කරගන්න.. අම්මා උනාට මොකද එයාත් වෙලාවකට රටපණ්ඩිතයි.. ඔය මුරණ්ඩුකම නිසා වෙන්න ඕන එයා මගේ තාත්තාව දාලා මෙහෙම එන්න ඇත්තෙත්..
YOU ARE READING
Never Again [Completed]
Fanfictionපෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤