#දුඹුරු_සඳ_167
“somewhere else...”
(වෙන ගමනක්..)එපමණක් පමණක් පවසා ඔහු නැවතත් නෙතු යොමනට වූයේ පරිඝනක තිරය මතට.
“අපිට ගෙදර යන්න වෙන්නෙ නැද්ද එතකොට?”
මොහොතක් ඔහු දෙස බලාහුන් විණාරා යලිත් විමසන්නට වූයේ හෙමිහිට.
“ම්හ්..”
ආග්න ඉතා කෙටි පිළිතුරක් එලෙසින් ඕනෑවට එපාවට මෙන් ලබාදෙන්නට වූයේ තමා කරමින් හුන් කාර්යයේම නිරතවීගෙන.
“ඒ කියන්නේ..අ”
නමුදු එයින් සෑහීමකට පත් නොවූ විණාරා යලිත් දෙතොල් විවර කරලූයේ පැනයක් අසනට මුත් එවදන් දෙතොල් තුලම ලොප් වී ගියේ ආග්නගෙන් ලද අනපේක්ෂිත ප්රතිචාර හමුවේ.
“විණාරා!”
තරමක් තද ස්වරයකින් ඔහු එලෙස පවසන්නට වූයේ විණාරා තිගැස්සී යද්දී. ඉඳින් එක් තප්පරයක් යන්නටත් මත්තෙන් ඔහු තමාට දැඩි වීම පිළිබඳව විණාරාගේ සිත පිරී යන්නට වූයේ මහත් වේදනාවකින්. යන්තම් තෙත් වන්නට මාන බලනා දෙනෙතට කඳුළු ඉනීම ඈ පාලනය කරගන්නට වූයේ මහත් ආයාසයක් දරා.
තප්පරයක් දෙකක් තිස්සේ බිමට නැඹුරුව ගිය ඈ වේදනාබර දෙනෙත ඉහළට එසවෙන වගක්වත්, ඒ බැල්මවත්, ඒ දෙනෙත් තුල ගැබ්ව තිබූ වේදනාවවත් ඔහු නොදුටුවේ ඔහු උන්නේ කුමක් හෝ බැරෑරුම් කාර්යයක නිරතව බැවින්.
මිනිත්තු කිහිපයක්ම ඈ උන් ඉරියව්වෙන්ම ගෙවා දමන්නට වූයේ ඔහු දැන් තමා වෙතට අවධානය දේවියැයි කියා. නමුදු ආග්න උන්නේ දෙබැමත් රැළි කරගෙන කුමක් හෝ වැදගත් කාර්යයක නිරත වෙමින්.
ඉඳින් තප්පර බොහොමයක් ගෙවී අවසන් තැන හුස්මකට ළයෙන් ගිලිහෙන්නට ඉඩදී විණාරා තැත් කරනට වූයේ ඔහු කාර්යබහුල යැයි තම සිතටම පහදා දී තමාවම සනසාගන්නට. නමුදු සිතට දැනෙන්නට වූයේ වේදනාවටත් වඩා පාලුවක්.
පාලුවක්? ඔහු දෑස මානයේම හිඳිද්දී ළය රිදවාලන පාලුවම පිරුණු හැඟීමක් එය.
දෑස් අද්දරම කෙනෙකු උන්නද භෞතික වශයෙන් ඔහුගේ/ඇයගේ පැවතීම පමණක් හදෙහි විඩාව නොනිවන්නක්. ඉඳින් ආධ්යාත්මය බොහෝ දුරකනම්, ඔහුගේ/ඇයගේ අවධානය තමා කෙරෙහි නැත්තම් භෞතිකව තමා අබියස කෙනෙකු රැඳීමෙහිත්, නොසිටීමෙහිත් වෙනසක් නොමැති තරම්.