- 08 -

860 114 18
                                    

වේදනාබර හඩින් මුමුණන ජපන් ජාතික කත ලේ තැවරුණු බිත්තිවලින් වට වූ රෝහල් වාට්ටුවට මූසල හැගීමක් ගෙනාවාය. රෙන් දෙසවන් තද කරගෙන උන් දෑත් ඉවත් කළේය. ඒවා හිරිවැටෙමින් තිබුණි.

        ඔහු තනි කුටීරයෙන් වාට්ටුවකට මාරු කරන ලදුව තිබුණේ නින්දේදී ය. ඔහු අවදි කරන ලද්දේ රෝහල් ඇදන් තුනකට එහයින් තිරරෙදි වටකරන ලද ඇදේ ගැටගසා සිටි කාන්තාවගේ විලාපයන් විසිනි.

        වෛද්‍යවරයා ඇතුලු පිරිස පිටව යන තෙක් යටිගිරියෙන් බෙරිහන් දුන් ඈ ඉන්පසු දිගටම කෙදිරිගෑවාය. වරුවක් තිස්සේ ඇගේ කෙදිරිලි හා ඉකිබිඳුම් නිසා නිදිවර්ජිතව පියවි ලොවෙහි මේ භයානක සිහිනය කෙලවරක් නැතිව දකින්නට යෞවනයාට සිදු ව තිබුණි.

        ඔහුගේ සිතට විකාරරූපී සිතිවිල්ලක් ඇතුලු වූයේ අහම්බෙනි. ඔහුට ඈ දකින්නට කුහුලක් දැනුණි. ඒ කුතුහලය මොහොතින් මොහොත දැඩි ආශාවක් බවට පෙරලෙමින් තිබුණි.

    ඔහු සිය ඇදෙන් බැස්සේය. තිරරෙදි දැමූ ඇදන් අතරින් ගමන් කළේය. යමක් මත ලිස්සූ ඔහු නොවැටී බේරීමට ඇද වියලක් අල්ලාගත්තේය. ඔහු අඩ අදුරේ ප්‍රවේශමෙන් ඉදිරියට ගමන් කළේය.

      රෝහල් වාට්ටුවේ වූ පුස් ගද හා බෙහෙත් සැර ඔහුගේ නහයට හුරු වෙමින් තිබුණි. බිත්ති මත ඇති ලේ සහ දියරමය පැල්ලම් ඔහුට දැන් හුරුය. කාන්තාවගේ කෙදිරිලි ඔහුට හුරුය.

    නමුත් ඇදක් මත වූ බාගෙට කුණුව ගිය පන ඇති මස් වැදැල්ල ඔහුට ඔක්කාරය ගෙනාවේය.

     දෙකට නැවුණු ඔහුට උගුරෙන් පහළ වූ සියල්ල වමනය සමඟ පිටව ගියේය. කාන්තාවගේ රෝහල් ගවුම සී සීකඩ ගොස් තිබුණි. ඇදට සිරකරන ලදුව නොතිබුණත් ඈට සිය ඇදුම් සකස් කරගැනීමට ශක්තියක් ඇතැයි ඔහුට නොසිතුණි.

        ඇය මියැදෙමින් සිටියාය. කුණුව ගිය ඇගේ උදරය මත වසමින් දියව යන මස් වැදලිවලින් තරව වැඩී පෝශණය වන මැස්සන් හා ඉහද පනුවන් ඔහු සියැසින් දුටුවේය.

       ඇගේ පිටි පැහැ කම්මුල් දිගේ කදුලැල් ගලා ගියේය. සසර දුක ගැන ඔහුට කලකිරීමක් දැනුණේ පළමු වතාවට ය.

සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Where stories live. Discover now