මිසිං ( Missing )

100 7 2
                                    

" අර බබා ආයෙත් ඇවිත් "

" කොයි බබාද?"

" අර කලින් පාර මිසිං වුණේ, මාස නවයෙ බබා"

මිසිං වීම යනු වාට්ටුවේ සිටියදී හොර රහසේම අතුරුදන් වීමයි. මේ බබාට අරලියා ලෙසද, දරුවාගේ මව මාලා ලෙසද මෙතැන් සිට නම් කරමි.

මාලා සිය නවමස් වියැති දරුවා මුල්වරට රැගෙන එන්නේ, වම් අතෙහි අස්ථි බිදීමක්  හේතුවෙන්.

" බබාට මොකද වුණේ අම්මා?"

" දෙවනි දුව අතින් ඇදලා නෝනා..." එතැනම විශාල මුසාවකි. අතින් ඇද්ද පමණින්, දිගු අස්ථියක් දෙකට මැද්දෙන් කඩන්නට දරුවෙක්ට හැකියාවක් නැත. අදාල ප්‍රතිකාර සිදුකිරීමෙන් නොනැවතී ළමාරෝග සහ අධිකරණ වෛද්‍ය අංශයට දරුවා සහ මව  යොමු කෙරෙන්නේ මේ පරස්පර විරෝධී , විචලනය වෙන කරුණු නිසා.

වාට්ටුවේ සිටි දිනක ඇගෙන් මා ඇසුවේ
" අම්මා උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්නෙ නැද්ද?" යන්නයි.

" අනේ නෝනා, මම තැනින් තැනට යන නිසා ක්ලිනික් යන්න විදියක් නැහැ" ඒ ඇගේ මූලික ප්‍රශ්නයකට විසඳුමක් ලබාගන්නට ඇයට ඇති නොහැකියාවයි.

කෙසේ වෙතත්, අදාල කටයුතු කෙරෙන අතරේ මව සහ දරුවා අතුරුදන් වෙනවා.

මාලා, වයස අවුරුදු 35 ක සිව් දරු මවක්. ගැහැණු දරුවන්ම සිව් දෙනෙක්. දරුවන් සමග වාසය කරන ඇයට ස්වාමිපුරුෂයෙක් සිටියේ නැහැ. ඒ නිසාම ගැහැණු දරුවන් තිදෙනෙක් නිවසේ දමා එක් දරුවෙක් සමග රෝහල්ගතව සිටීම ඇයට ප්‍රායෝගික වුණේ නැහැ.

ඉන් සතියකට පසු ඇය අවේලාවේ දරුවා රැගෙන යළිත් වාට්ටුවට එන්නේ , දරුවාගේ අත පෙන්නාගන්න යැයි කියමින්.

ඉතින්, රැවුම්, බැනුම් , ගෙරවුම් සමග නිසි   සේවය ඇය ලබාගත්තා. කුඩා දරුවෙක් හමුවේ ඇතැම් තැන්වල , දරුවාට අවැඩක් වෙද්දි , සාමාන්‍යයෙන් කෝප නොවන කෙනෙක්ට වුණත් ගිනි කන්දක් වගේ පුපුරන්න පුලුවන් .

මාලා දිගින් දිගටම වැඩිදුර කටයුතුවලින් කට්ටි පනිමින් හිතුමතේ අනෙක් දරුවන්ද රැගෙන විවිධ හේතු කියමින් අනෙක් වාට්ටුවලටද ඇතුළත් වන බව ඒ අතරේ අපට ආරංචි වෙනවා.

පළමු ඇතුළත් වීමෙන් මාසයකට පසුව ඇය යළිත් වාට්ටුවේ , එවර පාදයේ අස්ථි බිඳීමක්.

මාස නවයක දරුවෙක්ට අස්ථි බිඳීමක් කොයිතරම් වේදනාකාරී ඇතිද? මෙවරත් නිසි ක්‍රියාමාර්ග ගන්නට , මේ මව වාට්ටුවේ දිගටම රැඳේවිද?

අරලියාගේ බිඳුණු අස්ථි පිටුපස මහා ඛේදවාචකයක් ඔබට පෙනුනාද?

අපේ රටේ ලිංගික අධ්‍යාපනය සහ උපත් පාලනය ගැන නව යොවුන් වියට එළඹෙන දරුවන්ට අප ලබාදෙන දැනුම ප්‍රමාණවත් ද?

සාමාන්‍යය පෙළින් පාසල් අධ්‍යාපනය හමාර කරද්දී දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා දියුණු කරගෙන, ආදායම් උපයාගෙන ස්වාධීන වන්නට නිසි මග පෙන්වීමක් ලැබෙනවාද? එසේ නොවෙද්දී තරුණියන් මෙසේ රැවටීමට ලක්වී අනවශ්‍ය ගැබ්ගැනීම්වලට මුහුණ පෑම සුලබය.

සියල්ල අවසානයේ, කිසිවෙකුටත් වරදක් නොකළ මාලාගේ දරුවන්ගේ අනාරක්ෂිත බව... එහි වරද කොතැනද?

A/n සියලු නම් ගම් මනඃකල්පිත අතර සිද්ධි පමණක් සත්‍ය වේ.
මෙවන් කතා නොලියන්නට තීරණය කර තිබුණත්, ඒ දරුවා දකින මොහොතක් ගානේ මෙය ලියා තබන්නට මගේ මනස බල කළ නිසා ලියන්නට සිතුවෙමි.
31/03/2024

💙 𝓗𝔂𝓭𝓻𝓪𝓷𝓰𝓮𝓪 💙 සිංහල කෙටි කතාWhere stories live. Discover now