සුද්දිගෙ අවසන් කටයුතු ඉවර වෙලා දවස් තුනකුත් ගෙවිලා ගිහින්....
එන්න කියල කවුරුත් නොවෙද්දි මල් ශාලාවෙම සුද්දිව තියල ආදාහන කටයුතු කෙරුවා වෙද්දි ඒවා මම කොහොම දරාගත්තද කොහොම හුස්ම ගත්තද මට මේ මොහොතෙත් හිතාගන්න බෑ ....සමහරවිට අඬලම හෙම්බත් වෙලා මගෙ හිත ගල් වෙන්න ඇති...සුද්දිව ආදාහනය කරපු මොහොතෙත් මගෙ ඇහෙන් එක කඳුලක් වැටුනෙ නෑ....මට මතකයි රකිත් අයියා පවා එහෙමයි....මහත්තයා හැමදේම බලල කරද්දි අපි දෙන්නා ඔහේ බලන් හිටියා....
සේරම වැඩ ඉවර වෙලා ගෙදරට අඩිය තිබ්බම මම මහත්තයා බදාගෙන ඇති තරම් ඇඬුවා....මගෙ සම්පූර්ණ දුකම එයා ගාව දියකෙරුවා....එයා මට අඬන්න එපා කීවෙ නෑ මාව සැනසුවෙ නෑ ඇතිතරම් අඬන්න දුන්නා....අන්තිමේ අඬලා අඬලා හෙම්බත් උනු මට රෑ වෙද්දි උණ ගත්තා....උණ විකාරෙනුත් සුද්දි ගැන කියවද්දි මහත්තයා මාව අරන් හොස්පිට්ල් ගියා මට යන්තමට මතකයි....
දවස් දෙකක් පුරාවට තිබ්බ උණ අද වෙද්දි හොඳ වෙලා....සම්පූර්ණයෙන්ම නොවුනත් නැගිටලා වැඩක් පලක් කරන්න පුලුවන් තරමට මට දැන් හොඳයි....ඒ හින්දම මහත්තයාත් අද දවස් ගානකට පස්සෙ ඔෆිස් එකට ගියා....
මං හින්දා එයා තාත්තගෙන් සෑහෙන බැනුම් අහනවා....තාත්තා එයාට තර්ජනේ කරනවා පවා මම අහගෙන.....තවමත් මම යහතින් මේ ගෙදර ඉන්නෙ මේ ගෙදර මහත්තයාගෙ තනි අයිතියක් හින්දයි ආරක්ශාව හොඳ හින්දයි....එහෙම නොවෙන්න මේ වෙද්දිම මාව තාත්තා මේකෙන් එළියට ඇදල දාන්න වැඩ කරල තියෙන්න තිබ්බා...මඟ තොටකදී මට තර්ජනේ කරන්න නොආව එක මට ඇත්තටම පුදුමයක්....සමහර විට මැරයො දාල තර්ජනේ කරන එක තාත්තගෙ විදිහ නෙවේ වෙන්නැති.....නැත්තන් හරිම අවස්තාව එනකල් ඉන්නවද කියන්න දන්නෙ නෑ...
මීට කලින් මම ගෙදර තනියෙන් ඉඳපු දවස් ඕනිතරම් තිබ්බත් අද කවරදාවත් නැති විදිහට මේ ගෙදර මූසලයි....පාලුයි....බලන බලන තැන මට සුද්දිව මැවිලා පේනවා....ආව මුල් කාලෙ එහෙට මෙහෙට දඟ කරපු හැටි....ටික ටික මා එක්ක රණ්ඩු උනු හැටි....මුරණ්ඩු උනු හැටි....අන්තිම කාලෙ බඩත් උස්සන් එහෙ මෙහෙ ගිය හැටි....මට මැවි මැවි පේන්න ගත්තා....
YOU ARE READING
සියපත්
Romance"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _____________...