හිච්චගෙ මහ හයියෙන් වීදුරුවක් බිදෙන සද්දෙ ඇහුන නිසා කාමරේට දුවගෙන ගියපු අනුලා නැන්දා දැක්කෙ බිත්තියේ එල්ලල තිබ්බ කණ්ණාඩිය ගාව අතේ ලේ පෙරාගෙන ඉන්න හිච්චාවයි.
" හිච්චෝ මොකද මේ "
අනුල නැන්දා හිච්චා ලේ ගලාගෙන එන හිච්චගෙ අත දිහා බලන ගමන් කිව්වා.
" මොකුත් නෑ. "
" මොකුත් නැති වෙන්නෙ කොහොමද ?. බලපන් ලේ ගාලෙගෙන යන තාලෙ. "
" අත ලිස්සල ගිහින් කණ්ණාඩියෙ වැදුනා "
" පුදුම ලිස්සල යාමක්නෙ යකෝ ඒක. කෝ වරෙන් ඕකට බෙහෙත් ටිකක් දාන්න "
අනුල නැන්දා බෙහෙත් පෙට්ටිය අරන් ඇවිත් හිච්චගෙ තුවාල උනු අතට බෙහෙත් දාලා බිම වැටිල තිබ්බ වීදුරු කෑලි ටිකත් අහුලගත්තා.
" උයල තියෙන්නෙ මම යනව උබේ කේන්දරේ බලන වැඩේට. "
" බොරු වැඩ ඕවා "
" උබ පැහෙන්නෙ නැතුව ඉදපන්කො. "
කාමරෙන් එලියට ගියපු අනුලා නැන්දා ලෑස්ති වෙලා හිච්චගෙ කේන්දරෙත් අරන් කේන්දර බලන තැනට ගියා.
**********************************************
හිච්චලෑ බජව්වෙන් පස්සෙ දවස් දෙක තුනක් විතර යනකන් මට හිච්චව හම්බුනේ නෑ. වෙනද නම් නිකමට හරි කෝල් එකක් ගන්නවා. දිනෙත් කියපු විදියට දිනෙත්ටවත් හිච්චා හම්බෙලා තිබ්බෙ නැති නිසා මම හිච්චලෑට ගිහින් බලනවා කියල හිතාගත්තා.
මම හිච්චලෑට යනකොට අනුලා නැන්දා විතරයි හිටියෙ. හිච්චා ළගට ගිහින් එන්න ගියා කියපු නිසා මම හිච්චා එනකන් අනුලා නැන්දත් එක්ක කතා කර කර හිටියා.
" හිච්චා එන්න ගොඩක් වෙලා යයිද නැන්දෙ "
" නෑ මෙලහට දැන් එනවත් ඇති "
" හ්ම්ම් හිච්චා මාත් එක්ක තරහ වෙලාද මන්දා නැන්දෙ ?. "
" ඒ මොකෝ "
" නෑ එදා බජව්වෙන් පස්සෙ මට කෝල් කරේවත් නෑ. මන් කෝල් කරා ඌ ආන්සර් කරෙත් නෑ "
" ඔය දරුවා මොන වරදක් කරාටද ඌට ඌ ඔය දරුවා එක්ක තරහ වෙන්නෙ "
" සමහරවිට වැඩ තියෙන්නෙ ඇති "