3. කොටස

215 43 44
                                    

දම්සර උඩවත්ත

ගෙදර ඇතුළ හැම දෙයක්ම නියමිත තැන්වල තිබුණත්, නොසලකා හැරිල්ලක් නිසා අපිළිවෙක් මතුවෙලා.

පහළ විසිත්ත කාමරයට ආපු දම්සර, මැදට වෙන්න තියෙන නවීන තාලේ සෝෆාවේ එහෙට මෙහෙට වෙච්ච කුශන්... ශෝ-කේස් විදිහට අලුතෙන් හදවපු ඇන්ටික් අල්මාරි තට්ටුවල පේළියට අඩුක් කරපු පිංතූරවල මතුපිට බැඳුණ දූවිලි... ක්‍රීම් පාට බිත්ති පසුබිම් කරගෙන කැපිලා පේන්න අලංකාරෙට තියපු දම්පාට ප්ලාස්ටික් ඕකිඩ් මල් පෙති අතරේ බැඳුණ මකුළු දැල්... දිහා මොහොතක් වෙලා බලාගෙන හිටියා.

'වටපිටාව විතරක් පිළිවෙලට තිබිලා වැඩක් තියේද, ජීවිතේ පිළිවෙලක් ලස්සනක් නැතිව?'

සමාවට කරුණු හිතද්දිත් දම්සරට තමන් ගැනම මතුවුණේ තරමක ලැජ්ජාවක්.

දෙන්නම කැමැති ජාතියේ රෑ කෑමක් ඇප් එකෙන් ඇණවුම් කරලා, කුස්සියේ සින්ක් එකට එහාපැත්තේ ප්ලාස්ටික් පෙට්ටියක දාලා තියෙන කළු පාට ලොකු සිලි බෑග් එකක් ගත්ත දම්සර මේසේ උඩ තිබුණ හැම දෙයක්ම ඒකට දාන්න පටන් ගත්තා. විනාඩි පහක් යන්නත් කළින් එතන සෑහෙන සුද්දයි.  

අලුත් තත්වය ගැන යන්තමින් සැහිමට පත් වුණ දම්සර, කුස්සියේ කොනකටම වෙන්න තියෙන පැන්ට්‍රි කබඩ් එකේ මුල්ලක හංගලා තියෙන 'ජොනි වෝකර් රෙඩ් ලේබල්' බෝතලේට අත තියන කොටමයි දෙවැනි තට්ටුවේ නාන කාමරෙන් වතුර මල ක්‍රියාත්මක වෙන හඬ ගලාගෙන එන්න ගත්තේ.

විනෝදෙට... ආසාවට... මිසක් දම්සර පුරුද්දට බොන කෙනෙක් නෙමෙයි. 'වයිද්‍ය හේතුන් මත...' කියලා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් අයින් කළාට පස්සේ නම් ජීවිතේ දැනෙන හිස්කම මකාගෙන හිතේ සතුට බෝතලේ පතුලේ හොයන්න උත්සාහ කරාට, දම්සර අද වීදුරුව අතට ගත්තේ හිතට ධෛර්යය ගන්න. 

ඒ ධෛර්යය නැතුව මෙච්චර කාලෙකට පස්සේ, සවන් එක්ක තනියෙම එක ඉඩක රැයක් ගත කරන්න පුළුවන් වේවිද කියලා දම්සරගෙ හිතට සැකයි.

විශ්කි වීදුරුවකට නියපොත්තක උසට රත්තරන් පාට මදුවිත ගලාගෙන ගියා.

ආයෙමත් වතාවක් බාගෙට හිස්වෙලා තිබුණ බෝතලේ තිබුණු තැනින්ම හංගපු දම්සර, කුස්සියේ පැත්තක මහෝගනී ලීයෙන් කළ වටකුරු මේසෙ ඉඳගත්තා. අඩි දෙකක් විතර පළලට මහෝගනී ලීයෙන් කරලා පොලිශ් කරපු මේසේ ගෙදරට ආපු අළුත දිනෙතිටයි එයාටයි උදේ කැම ගන්න මිලට ගත්ත මේසේ. දැන් ඒ මේසේ පාවිච්චි වුනේ දම්සරට කල්පනා සාගරේ ගිලෙන්න සැර බීමක් රස විඳින්න.

විහඟ ගීතයDonde viven las historias. Descúbrelo ahora