𓆩♡𓆪 දාහත්වන දිගහැරුම 𓆩♡𓆪

8 1 0
                                    


             " එසේනම් මහසෙන් විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරඟාවලියෙහි දහ හතෙන් පහළ කාන්තා අංශයේ තරඟ තමයි මීළඟට ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ... එම තරඟ අංශයට අදාල පළමුවන තරඟය පැවැත්වෙන්නේ රුහුණු නිවාසයේ රනුල්‍යා අමාශානි සහ පිහිටි නිවාසයේ සාරා සචින්තනී අතර... එසේනම් උණුසුම් අත්පොලසන් නාදයක් දී පිළිගනිමු මේ ඔබේම සොයුරියන් දෙදෙනාව... " මුළු ඉන්ඩෝ ස්ටේඩියම් එකම කොල්ලො කෙල්ලන්ගෙ කෑගැහීම්, විසිල් සද්ද, අත්පුඩි ගහන සද්ද වලින් පිරිලා යද්දි පාට පාට කොඩි අතරින් ඇස් යවපු දෙව්රම් හෙව්වෙ රනුල්‍යා කොහෙද කියලා. සති කීපෙකට කලින් දුල්‍යානා හින්දා කෑලි කෑලිවලට බිඳිලා ගියපු දෙව්රම්ගෙ හිත ආපහු හදාගන්න කොල්ලට උදව් වුණේ රනුල්‍යා. දුල්‍යානා ගැන දෙව්රම්ගෙ හිතේ තිබුණ හැඟීම් ගැන රනුල්‍යා හාංකවිසියක් නොදැන හිටියත් කෙල්ල  දෙව්රම්ටත් හොරෙන් කොල්ලගෙ පපුව ඇතුලට රිංගලා දුල්‍යානා වෙනුවෙන් ලියැවිලා තිබුණ ඉඩ සම්පූර්ණයෙන්ම අයිතිකරගනිද්දි කොල්ලට තවත් දුල්‍යානා ගැන හිත හිත දුක්වෙන්න හේතුවක් තිබුණෙ නෑ.

                රුහුණු නිවාසෙ පාට වුණ දම් පාටට හුරු ටීෂර්ට් එකක් ඇඳලා  වෙනදා කැරලි දෙකකට ගොතන කොණ්ඩේ කොණ්ඩබූලක් දාලා තනි කැරැල්ලක් වෙන්න ගැටගහගෙන හිටපු රනුල්‍යාගෙ මූණෙ ඇඳිලා තියෙන හිනාව දැක්කම දෙව්රම්ට හිතුණෙ තමන්ගෙ හදවත ගැහෙන සද්දෙ ළඟපාත ඉන්න කොල්ලන්ටත් ඇහෙයි කියලා. දෙව්රම් ඉඳගෙන හිටියෙ පිහිටි නිවාසෙ ප්‍රේක්ෂකාගරෙ වුණාට කොල්ලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කලේ රනුල්‍යාගෙ ජයග්‍රහණය විතරයි. " මොකද බං උඹ අපේ කොඩිය වනන්නෙ. තාම රුහුණු එකේ එකී විතරයි ආවෙ. අපේ එකී ආවෙත් නෑ තව... " දෙව්රම්ගෙ එහාපැත්තෙ හිටපු ජනිත කොල්ලගෙ උරහිසට ඇඟිල්ලෙන් ඇනලා කියද්දි තමයි කොල්ලට මතක් වුණේ රුහුණු නිවාසෙ ළමයි රනුල්‍යාව ඉන්ට්‍රොඩියුස් කරද්දි රුහුණු නිවාසෙ කොඩිය වනලා චියර් කරනවත් එක්ක තමනුත් අතේ තිබ්බ කොඩිය වනන ගමන් රනුල්‍යා දිහා බලන් ඉඳලා කියලා.

                රනුල්‍යාගෙ ප්‍රතිවාදියා විදිහට දෙව්රම්ගෙ නිවාසෙ වුණ පිහිටි නිවාසෙන් ඉදිරිපත් වුණ සචින්තනී රනුල්‍යාට වඩා හොඳ උස මහත කෙල්ලෙක්. කෙල්ල ග්‍රවුන්ඩ් එකට එද්දි එනවුන්ස්මන්ට් එකෙන් දුන්න ඉන්ට්‍රඩක්ෂන් එකත් එක්ක පිහිටි නිවාසෙ ප්‍රේක්ෂකාගාරෙ පුරාම විසිල් සද්ද අත්පුඩි සද්ද පැතිරිලා යද්දි දෙව්රම් තමන්ගෙ අතේ තිබුණ කොඩිය එහාට මෙහාට වැනුවෙ ඕනිවට එපාවට වගේ. තරඟෙ පටන්ගන්න කලින් රනුල්‍යා සචින්තනීට අතට අත දෙන වෙලාවෙ කෙල්ලව පෙනුනෙ සචින්තනී ඉස්සරහා පුංචි බෝනික්කියෙක් වගේ. හැබැයි බැඩ්මින්ටන් කියන්නෙ ඇඟපතේ ශක්තිය විතරක් නෙවෙයි මොළේ පාවිච්චි කරලා දිනන්න ඕනි ක්‍රීඩාවක් කියලා රනුල්‍යා විශ්වාස කලා. පොලවට වැඳලා ආශිර්වාද අරන් තමන්ගෙ රැකට් එක ඉඹපු කෙල්ල කෝර්ඩ් එකට ගියේ කොහොමහරි මේ තරඟෙ දිනනවමයි කියල හිතාගෙන.

සෙනෙහස් අවාරේ ( Senehas Aware Sinhala Novel )Where stories live. Discover now