Virus
වර්ෂය: N 397මේ ගතවෙන කාලය ගැන කිව්වොත්.... අනේ මන්දා.. ඉස්සරට වඩා හොඳක් කියන්නත් බැහැ නරකක් කියන්නත් බැහැ... ඒත් මම ඉතිං ඔහේ ජීවත්වෙනවා. මගේ නම අමේලියා අන්වර්. මේ ගතවෙන්නේ N397 අවුරුද්ද. මම හෙමින් හෙමින් මගේ ක්ලාස් එක තියෙන පැත්තට ගෑටුවේ වෙන කරන්න දෙයක් නැතුව. මම ඇත්තටම කැමති නැහැ ඉගෙනගන්න. මම කැමති ආට් ක්ලාස් එකටම විතරයි. ඒත් දැන් මට යන්න තියෙන්නේ ඉතිහාසය පංතියට ඒ නිසා.. මට එපාවෙලා ඉන්නේ... මොනා කරන්න ද ඉතිං? අද ඉගෙනගන්න තියෙන්නේත් මහා විකාර මාතෘකාවක්. ආයිශ්... කොරෝනා!! මහ විකාරයක්. ඒක ඒ හැටි බයානක වෛරස් එකක් ද අනේ ඉගෙන ගන්න තරම්? හැබැයි ඉතිං හැමෝම කියනවා ඒක තමයි මේ හැමදේම පටන්ගන්න හේතුව කියලා. ඉතිං ඒ නිසා ඒ ගැන ඉගෙනගෙන ඉන්න එක වටිනවා ලු!
මළ වදේ..!! මම ක්ලාස් එකට පැනගෙන හොරෙන්ම ගියේ අග හරියේ තිබ්බ සීට් එකකට. මොකද දැන් කවුරුහරි මාව දැක්කොත් අනිවාර්‍යෙන්ම මට ඉන්න දෙන්නේ නැහැනේ... මම දන්නවා.
මගේ පවුල තමයි මේ කොලනි හැත්තෑ අටේ ඉන්න එකම පාටින් වැඩි පවුල. ඒ නිසා හැමෝම වගේ මං දිහා බැලුවේ ටිකක් අමුතු විදිහට. පොඩි කාලේ ඉදන් මේ දේ දැනුන නිසා මට දැනුනේ පුදුමාකාර කුලෑටි ගතියක් වගේම, අමුතු බයක්. මට ඕනේ වුණේ මේ මිනිස්සුගෙන් හැංගිලා ඉන්න. ඒත් ඉතිං කොහෙද.. කොලේජ් යන්නේ නැතුව හිටියොත් ඉවරයි නේ.
"ලමායි.... හොඳට අහගන්න... මම මේ අද කියලා දෙන්න හදන මාතෘකාව ඔයාලා මීට කලින් ඕනේ තරම් ඉස්කෝලේ දී ඉගෙන ඇති ඉතිහාසය විශයට. ඒ වුණත් හොඳට මතක තියාගන්න, මේ පාඩම ගොඩක් වැදගත්. ඒ නිසා ඔයාලා මේ දේවල් ඉගෙනගන්න ඕනේ. ඒ නිසා තමයි මේ පාඩම හරියටම මුල ඉදන්ම ඔයාලාට ඉගෙනගන්න තියෙන්නේ. එහෙනම් හැමෝම අවධානය දෙන්න හරියටම මම කියන දේට" මිස්ටර් පැට්‍රික් අපි හැමෝටම කිව්වේ මුලු පංතිය දිහාම උවමනාවෙන් බලන ගමන්.
මම මගේ ඔලුව පාඩුවේ ඩෙස්ක් එක උඩින් තියාගත්තේ තවත් මේවා අහගෙන ඉන්න ඕනේ ද කියලා හිත හිතා.. ඒත් එයා කියපු දේවල් ඔක්කොම මගේ කන්වලට ඇහුණේ හැමදාම අහලා තිබුණ බණ වගේ.