පන්ති ක්රශ් එක වෙත ආදරයෙන් ලියමි,
මේ මම ඔබව දකිනා අටවෙනි මාසයයි...
මුලදී ඔබේ මිතුරෙක් වීමට පමණක් පැතූ මම දැන් ඔබේ පෙම්වතිය වීමට පතනා ආකාරය අපූරුය, නුඹේ නමවත් මා නොදැනීම ගැන මටද පුදුමය...නුඹට, නුඹගේ ගති පැවතුමට , මාස්ක් එක යටින් තිබෙන කලාතුරකින් වතුර බොන්නට ගලවන විට මා දකින නුඹේ සිනහවට , නුඹේ සොඳුරු දෑසට , සරල කමට මා ආලය කරමි...ඉඳින් නුඹේ නමෙන් මට වැඩක් නැත, නුඹ පමණක් ප්රමාණවත්ය.
කොටටම කපා දැමූ කොලුකාර කොණ්ඩයද, හීන්දෑරි ශරීරයට උඩින් දාගත් තනිපැහැ කමිසයද, ටයිට් ඩෙනිමද බාටා දෙකද සෑම දිනකම මගේ අවධානය ගනී.. මගේ පමණක් නොව පන්තියෙන් හතරෙන් එකකම අවධානය නුඹ දිනාගැනීමට සමත්ය...දෙපැත්තෙන් බෙදා දැමූ කඩාහැලෙන කොණ්ඩයක්ද , ටයිට් ඩෙනිමක්ද , කමිසයට උඩින් වැටුණු කෝට් එකක්ද , සපත්තු යුගලක්ද දැමූ තණිවූ කෙල්ලක් පන්තියේ කොනක සිට නිතරම ඔබ දෙස බලා සිටින වග ඔබ දන්නවානම්...කොලුකාර කමට හැඳුණ මා තවත් මා වැනිම කෙල්ලක්ට කැමති වූ බව සිහිවනවිට මගේ මුවඟට නිතැතින් සිනහවක් නැගේ...ඔව්, නුඹද කෙල්ලෙකි මාද කෙල්ලකි... මෙවැනි සම්බන්ඳයකට සහය නොදෙනා රටක අපි දෙදෙනා පුංචි කෙල්ලන් දෙදෙනෙක් වෙමු...මගේ මුවඟට නැවත සිනහවක් නැගේ...එය කෙතරම් දුරට සාදාරණද?
බොහෝ කොල්ලන් මගේ පසුපස පෙම්පත් සමඟ පැමිණේ...කෙල්ලන්ද පුංචි පුංචි චිට් එවා පන්තියෙන් පසු කතා කරන්න නවතින ලෙස යදී...නමුදු මා ඔවුන් දෙස ඔරවා ගස්සමින් ඉවතට යමි. පන්සීයක් පමණ පිරිසකගෙන් යුත් පන්තියක මගේ හිතුවක්කාර නිහඬ හිත නුඹේ දඟකාර දෑස් මත නැවතුණු සැටි පුදුමය.මට ලැබෙන ප්රේම යෝජනා දෙගුණයක් වී ඔබ වෙතද පැමිණෙන බව මා දනිමි. මන්ද ඔබ පන්තියේ "ප්රසිද්ධ" චරිතයකි. මා නිහඬ චරිතයකි...ගතිගුණයෙන් අපේ සමාන එකම දේ කොලුකාරකම පමණකි...අන් කිසිදු අතකින් අප එකිනෙකාට නොගැලපේ. මා රැයට ප්රේම කරද්දි ඔබ ප්රේම කරන්නෙ හිරු එළියෙන් නැහැවෙන දවාලටය. මා නිහඬබවට ප්රේම කරද්දි ඔබ ප්රේම කරන්නේ කටකාර බවටය.
අප කිසිසේත්ම එකිනෙකාට නොගැලපේ...නමුදු තවමත් මගේ ඇස් නුඹව සොයයි, නුඹව පතයි. එය කොයිතරම් දුරට සාධාරණද? මට නුඹව ලබාගැනීමට අවශ්ය නැත...ඔබේ සිත කෙල්ලන්ට නැති බව මම දනිමි. එයින් මට කම් නැත...මන්ද මගේ අදහස් මා නුඹට පවසන්නෙ නැත, මට නුඹව ලබාගැනීමටද අවශ්ය නැත.මේ ඉර හද යට එකිනෙකාගෙ නම්ද නොදත් අපේ කතාව මෙලෙසම තිබෙද්දෙන්යැයි මා මගේ හදවතට පවසා ගොඩක් කල්ය. ඔබගේ දෑස් මගේ දෑස් සමඟ එක්වරක් ගැටුණිනම් මට හොඳටෝම සෑහේ, මේ අට මසටම නුඹ මට අවධානය දී නැත... නිදහස් වීමට බලා සිටින කිරිල්ලියක කූඩුවේ දොර අරින්නට බලා සිටින සේ මා නුඹදෙස බලාසිටිමි. කිරිල්ලිය නම් මම වෙමි, කිරිල්ලිය පතන නිදස නම් මගේ සිතෙන් නුඹව මකා දැමීමයි. කූඩුව නම් ඔබයි, කූඩුවේ දොර අරින හස්තය නම් ඔබේ සිනහවයි. කරුණාකර එක්වරක් මා සමඟ සිනහවුව මැන,එවිට නුඹව මගේ සිතෙන් අතැරදැමුව හැක...අපි සිනහවෙන්ම වෙන්වුමු...
~බයිසෙක්සුවල් කෙල්ලෙකුගේ බෝල්පොයින්ට් සිතුවිලි~
YOU ARE READING
බෝල්පොයින්ට් සිතුවිලි
Randomආදරයෙන් ලියමි....🖋️ සත්ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය, එහෙයින් මා සමඟ සම්පූර්ණයෙන්ම තර්ක කිරීමේ අයිතිය ඔබට ඇත. ඔබේ අත්දැකීම් කමෙන්ට්ස් මගින්ද ඉන්බොක්ස්...