රාත්‍රී කඳවුර සවස පහට ආරම්භ වුවද සියල්ලන් ශාලාව තුළට දමා ප්‍රථම දේශනය ආරම්භ කරද්දී වේලාව සවස හයට ආසන්න වී තිබිණි. කාර්ය මණ්ඩලයට අයත් පටියක් ගෙලෙහි රඳවාගෙන කළු පැහැ අත්දිග කමිසයකින් සැරසී ළමුන් සමග කාර්යබහුල වී සිටි සහීන් දෙගිඩියාවෙන් පසු වූයේ තවමත් නිහාරා පාසලට පැමිණ නොතිබූ නිසාවෙනි. ඇය කඳවුරට පැමිණෙනවාද නැතිද යන්න පිළිබඳ ඔහු විමසා නොතිබුණද ඔහුගේ යටිසිත ඔහුට පවසා සිටියේ ඇය පැමිණේවි යන්නයි. නමුත් ඇය දැන් පැමිණ නැති නිසාවෙන් ඔහු පසුවූයේ පසුතැවිල්ලත් බලාපොරොත්තුවත් අතර ලොවකයි.
"නිහාරා ආවේ නෑ නේද තාම?" අවසානයේ ඔහුගේ සිතිවිල් තහවුරු කරමින් තාරකා විද්‍යා සංගමයේ සභාපතිවරයා වූ නේතක යමෙකුගෙන් විමසා සිටියේය.
"නිහාරාට උණලු. බෙහෙත් අරගෙන එන්නම් කිව්වා නවය පහුවෙලා." හේෂානිගේ පිළිතුර සහීන්ගේ සවන වැකෙද්දී ඔහුගේ දෑස් ඔරලෝසුව මතට දිව ගියේ නිරායාසයෙනි.
ගත වූ තෙපැය සහීන්ට දැනුණේ කල්පයක් මෙනි. දේශනයේ කී කිසිවක් ඔහුට අවබෝධ නොවුණු අතර ළමුන්ට ආහාර බෙද්දී පවා ඔහු සිටියේ අසිහියෙන් බව ඔහුටම වැටහිණි. ඔහුගේ ඔරලෝසුවේ වේලාව නවය ලෙස සටහන් වද්දී ඔහුගේ සිතේ බලාපොරොත්තු නැවතත් පුබුදින්නට විය. අඩක් පිරී තිබූ වතුර බෝතලයක් ගෙන ප්‍රධාන ගේට්ටුව අසල තිබූ කරාමය දෙසට පිය නැගූ ඔහු වතුර බෝතලය පුරවා ගන්නා බවට හඟවමින් ප්‍රධාන ගේට්ටුව දෙස ඇසිපිය නොහෙළා බලා සිටින්නට විය. වතුර බෝතලය පිරෙන්නට ඔන්න මෙන්න තිබියදී සුදු පැහැ මෝටර් රථයක් පාසලේ ගේට්ටුවේ ඉදිරිපස නතර විය. සහීන් වහා අනෙක් පස බලාගත්තේ ඔහු ඒ වෙනුවෙන් බලා සිටි බවක් නොදැනෙන ලෙසට වුවත් වාහනයෙන් බැසගත් නිහාරාට සිනහවක් නැගුණේ බෝතලයේ කටින් උතුරා යන වතුර ඔහුගේ කමිස අත තෙත් කරද්දීත් ජල කරාමය විවර කරගෙන සිටි සහීන්ව දැකීමෙනි.
YOU ARE READING
නොමළ ඇහැළ | boy x girl | COMPLETED
General Fiction"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21