මධ්‍යම රාත්‍රී දොළහා රෝස පැහැ ඔරලෝසුවේ සුදු පැහැ ඉලක්කම් මතින් සටහන් වද්දී නිහාරා දුරකථන තිරය දෙස දෑස් දල්වා බලා සිටියාය. මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණද නිදිමත යන්න ඇගේ සිත අහලකවත් සටහන් වී නොතිබිණි. කලබලකාරී සිතිවිලි, එකිනෙකට පරස්පර හඬවල් ඇගේ දෙසවන් තුළින් මොළය ආක්‍රමණය කරද්දී ඇය සිතිවිලි මග හරවා ගැනීමට මෙන් වට්ස්ඇප් විවෘත කර කලකට පෙර අතහැර දමා තිබූ ඇගේ පරණ කතා බස් කියවන්නට වූවාය. තමාට දැනෙන්නා වූ විශාද සිතිවිලි යන ගින්නට පිදුරු දමන්නේ තමාම බව ඇය වටහාගෙන තිබුණද විශාදය එක්තරා ආකාරයක ගැලවීමක් වී තිබිණි.
විටෙක විශාදය තුළ ගිලී හිස් හැඟීමේ ගුලිව සිටීම බාහිර ලෝකයේ වගකීම්වලින් ගැලවී සිටිමේ උපාය මාර්ගයක් විය. උගුර තුළ සිරවෙන්නාක් මෙන් දැනෙන්නා වූ හැඟීම තුළ සියදිවි නසාගැනීමේ සේයාවන් ඔච්චම් කරන විට තලයක් අත තුළට කිඳාබැසීමෙන් දැනෙන්නා වූ සහනය දිව ඔසුවක් බඳු විය. නමුත් එහි රැඳී තිබුණේ අනාගතය තුළ ඇති වන පසුතැවීමක මුග්ධභාවය පමණකි. කපා ගැනීමෙන් ලබා ගන්නා වූ තාවකාලික සහනය තුළ පියවි සිහිය ඇති කළක තමාට ඇතිවන පසුතැවීම සහ තමාට අහිමිවන අවස්ථා පිළිබඳ නිහාරා වටහා ගෙන තිබිණි. නමුත් දැන් ඇය පමා වැඩිය. අවධානය ඉල්ලා කපා ගන්නන් රැසක් අතරේ ඇගේ කැපුම් ගැඹුරටම ගොස් සම උලුප්පා එන පරිදි පෑරි ගොස් තිබූ හෙයින් සාපේක්ෂව ඇගේ අතට ඉතා ඉක්මනින් අවධානයක් යොමු වීම ඇයට වළක්වා ගත නොහැකි වී තිබිණි. සියල්ලන්ටම ස්වයං හානිය පසුපස ඇති කතාව කීමේ කර්තව්‍යයෙන් හෙම්බත් වූ පසු නිහාරා කළේ අත්දිග ඇඳුම් ඇඳීමට පටන් ගැනීමයි.
ඒ අතීතය විය. අතීතය තුළ රැඳී සිටිමෙන් පලක් නොතිබුණද අතීතය ඇති කළ කැළැල් මතකාවර්ජන කිරීම වළක්වාලීමේ හැකියාවක් ඇයට නොතිබිණි. දොළහයි කාලට වේලාව ආසන්න වද්දී නිහාරා දුරකථනය නිවා දමා ඇඳ මත ගුලිව වලසුන් මුද්‍රිත පොරවනයෙන් සිරුර වසා ගත්තාය. දහදිය සීතල තුළ ඇයට දැඩි වෙනසක් නොතිබිණි. විටෙක එය වාසනාවක් වුවද සාමාන්‍ය මිනිසෙකු මෙන් සංවේදන දැනීමට නොහැකි වීම පිළිබඳ ඇය තුළ අමුතු කණගාටුවක් නොතිබුණාද නොවේ. ශාරීරික සංවේදනයන් සියල්ල එකිනෙක තමාව හැරයමින් සිටි කාලයක සහීන්ගේ පහස හමුවේ නැවතත් ලෝකය ලෝකයක් ලෙස ඇයට දැනෙන්නට ගෙන තිබිණි.
YOU ARE READING
නොමළ ඇහැළ | boy x girl | COMPLETED
General Fiction"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21