" මැණිකේ මන් හන්දියට මේ කෙහෙල් ඇවරි උර ටික ගොහිල්ලා දාලා එනකම් කාසි ටිකක් ඩිංගිත්තකට හොයාලා බලන්ටකෝ "
" ඒ මොකෑ ඒ අදත් ජිරිබිරිස්ගේ කඩ පිලට ගොඩ වදින්ටද යන්ටෙ "
අප්පුච්චා කෙහෙල් ඇවරි උර ටිකට දුම් ටිකක් අල්ලලා කරත්තෙට පටවන ගමන් එහෙම කියැද්දි අපෙ අම්මා අරහෙම දෙඩුවා.
අපෙ අප්පුච්චා වැඩට ගොහිල්ලා හවස් ජාමෙට ගෙදරට ගාටද්දී කලාතුරකින් වගේ කාසි ටිකක් එක්කාසු කොරන් ජිරි්බිරිස් උන්හැයියේගේ කඩේට ගොඩ වැදෙන්ටේ ඩිංගිත්තකට අඩියකින් සප්පායම් වෙන්ට ඕන් . ඒ වෙලාවට බැරි වෙලාවත් පොලිස් හාමු උන්දැ කෙනෙක් කඩේට ගොඩවුනොතින් ජිරිබිරිස් උන්හැ යියේටයි අපෙ අප්පුච්චටයි වෙන්ටේ හිරගෙයි කූරු ගනින්ට.
" නෑ හාමිනේ මට මේ කිතුල් හකුරු ඩිංගිත්තක් ඕනෑ පැල් රකින්ට යද්දි අරන් යන්ට. කිතුල් හකුරු එක්කලා කහට ටිකෙන් සප්පායම් වෙද්දී ඇගත් රස්නි ගහනවා නොවෑ මැණිකේ "
එහෙම දෙඩුව අප්පුච්චා කිරි පුතාගේ පස්සටත් පොඩි තට්ටුවක් දාලා යන් මයෙ පුතා කියැද්දි ඒකා හෙමින් හෙමින් කරත්තේ ඇදන් ඉස්සරහට ගෑටුවා.
අපිට කිරි පුතා විතරක් නෙවේ හරක් තඩියෙකුට කියලා ඉන්ටෙ සුදාම්මි ගොයිය පුතා කියලා තව හරක් දෙන්නෙක්ම ඉන්ටවා. මේ ගමේම ඉන්ට ලොකුම හරක් නාම්බා තමයි ඕන් අපෙ කිරි පුතා. එකාගේ සක්තිවන්ත කමට ගහන්න මේ ගමේ එකම හරකෙක්වත් නෑ. ඒකා තනි සුදු පාට වැටිච්ච හින්දා තමයි කිරි පුතා කියලා කියන්ටේ. කිරි පුතාගේ මැණිකේ තමයි සුදාම්මි. අපෙ අප්පුච්චා ඒකීට ආදරේට සුදාම්මි කිව්වට මොකෑ ඒකා තනි කලුච්චියක්. ඒ දෙන්නගේ පැටියාට තමයි අපි ගොයිය පුතා කියලා කියන්ටේ.අනුරපුරේ කැබිතිගෝලලාවට තමයි අපෙ අප්පුච්චා අපෙ අම්මව කැන්ද ඇවිල්ලා තියෙන්ටේ හදපානේම . අපෙ ගමේ ලොකුම ගෙදර තියෙන්ටෙත් අපෙ අප්පුච්චට තමයි ඔන්න.
මැටි ගහපු අපෙ ගෙදර කාමර පහ හයකින් පිරිලා තියෙනකොට අපෙ අප්පුච්චා එයාගේ මැණිකේට ඇතුළින් ලොකු කුස්සි කෑල්ලකුයි එළියෙන් ඒත් ලොකු කුස්සි කෑල්ලකුයි බැදලා තියෙන්ටේ. අපෙ අප්පුච්චා හරි දක්සයා ගෙවල් බදින්ට. ගමේ අනිත් ඈයොත් ගෙයක් බදින්ට තියේ නම් ඉතින් අපෙ අප්පුච්චා දිහාවට තමයි ඕන් ගාටන්නේ විගහට. අපෙ කක්කුස්සියත් ළිද දිහාවට පල්ලෙහායින් ඒත් අප්පුච්චා තමයි බැදලා තියෙන්ටේ.
YOU ARE READING
කටු ඉඹුල ( Ongoing )
Non-Fiction" මම කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක් මයි ආදරේ.......... " - අන්ගුලු මුහන්දිරාම් -